(ශාන්ත රත්නායක)

ශ්‍රී ලංකා යුද හමුදා සංඥා බලකායේ  “ඉතිහාස ග්‍රන්ථය” අද (06)  ජනාධිපති කාර්යාලයේ දී මාණ්ඩලික ප්‍රධානී සහ බලකාධිපති මේජර් ජෙනරාල් ඩී.ඒ.පී.එන්. දෙමටන්පිටිය මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  වෙත පිළිගන්වනු ලැබීය.

ශ්‍රි ලංකා සංඥා බලකාය 1943 වසරේ ඔක්තෝබර් මස 19 වන දින ස්ථාපනය කෙරිණ.

තොරතුරු තාක්ෂණය, සංඥා කටයුතු, සයිබර් අවකාශයේ ක්‍රියාකාරකම්, තාක්ෂණභාවිතය ඇතුළු බලකායේ 77  වසරක ඉතිහාසය පිළිබඳ සියලු තොරතුරු සහිත පර්යේෂණාත්මක කෘතියක් ලෙස ග්‍රන්ථය සැකසී තිබේ.

ජනාධිපතිතුමා යුද හමුදා නිලධාරියෙකු ලෙස කොමිෂන් ලැබීම, ලුතිතන්වරයෙකු දක්වා සංඥා බලකායට අනුයුක්තව සේවය කිරීම, පකිස්ථානයේ දී තරුණ සංඥා නිලධාරී පාඨමාලාව හැදෑරීම සහ යාපනයේ සංඥා නිලධාරී ලෙස ක්‍රියා කිරීම බලකා ඉතිහාසයේ ඇතුළත් වේ.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, මේජර් ජෙනරල් ඩබ්.පී.ඒ.කේ. තිලකරත්න, මේජර් ජෙනරල් පී.ඒ.ජේ. පීරිස් යන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.