(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බම්බලපිටිය ලෝරන්ස් මාවතේ රථගාලකදී පුද්ගලයකුට අත් මාංචු දමා ඔහු පැමිණි මෝටර් රථයෙන්ම පැහැරගෙන ගොස් පැළඳ සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනාකමින් යුත් රන් භාණ්ඩ සහ රුපියල් 30,000 ක මුදල් කොල්ලකා ඇතැයි බම්බලපිටිය පොලිසිය කියයි.
තිඹිරිගස්යාය ප්‍රදේශයේ පදිංචි එම පුද්ගලයා මංගල උත්සවයකට සහභාගිවීම සඳහා රථය ගාල්කිරීමට සූදානම් වෙද්දී ආරක්ෂිත හිස් වැස්මක් පැළඳි පුද්ගලයකු පොලිසියෙන් යැයි පවසා අත් මාංචු දමා එම මෝටර් රථයේ පිටුපස අසුනට දමා පලාගොස් ඇති බවත් මද දුරක් ගොස් රන්මුදු දෙකක සහ අත් පළඳනාව පැහැරගෙන ඔහුගේ බිරිඳ ද එම ස්ථානයට ගෙන්වන ලෙස තර්ජනය කර තිබූ බවත් පොලිසිය කියයි.
එම පුද්ගලයා දෙමළ බසින් සිය බිරිඳ අමතා පත්ව ඇති තත්වය පැහැදිළි කර ඇයට උත්සව ශාලාවෙන් පිටතට නොඑන ලෙස දැනුම්දී ඇති බව කී පොලිසිය කොල්ලකරු අදාල පුද්ගලයා පෞද්ගලික බැංකුවක ඒ.ටීඑම්. යන්ත්‍රයකට ගෙන ගොස් රුපියල් 30,000 ක මුදලක් ද බැංකු කාඩ් පත යොදා ලබාගෙන ඇති බවත් සඳහන් කළේය.
කොල්ලකරු පැහැරගත් පුද්ගලයා සමග මංගල උත්සව ශාලාව ආසන්නයට නැවත පැමිණීමේදී පොලිස් නිලධාරීන් එහි රැඳී සිටිනු දැක මෝටර් රථය නවතා පලාගොස් ඇති බවත් පලාගිය පුද්ගලයාගේ බවට සැක යතුරුපැදියක් රථගාල ආසන්නයේ තිබියදී සොයාගැනීමෙන් අනතුරුව ලියාපදිංචි අංකය ඔස්සේ කළ පරික්ෂාවේදී එය කිරිඳිවැල ප්‍රදේශයේ පුද්ගලයකුට අයත් එකක් බවට අනාවරණය වූ බවත් පොලිසිය වැඩිදුරටත් පැවසීය.
COMMENTS
අවදියෙන් සිටින්න..! මෙවැනි අපරාධ සිදුවිය හැකියි.