(පාලිත ආරියවංශ , නිශාන්ත කුමාර සහ ඉන්දිකා රාමනායක)
මහියංගණය - බදුල්ල මාර්ගයේ මහියංගණය මහා විද්‍යාලය ඉදිරිපිටදී අද (17) අලුයම වෑන්රථයක් හා බස්රථයක් ගැටී සිදුවූ මහ අනතුරකින් වෑන්රථයේ ගමන් කළ පුද්ගලයන් 10 දෙනෙකු මියගොස් ඇතැයි මහියංගණය පොලිසිය පවසයි.
දියතලාව සිට ත්‍රිකුණාමලය දක්වා ගමන්කරමින් තිබූ පෞද්ගලික බස්රථයේ ගැටුණු වෑන්රථය බස්රථය තුළට කඩාවැදී ඇතැයි පොලිසිය කියයි. වෑන්රථයේ රියදුරාට නින්ද ගොස් මාර්ගයේ වැරදි මංතීරුවට ධාවනය වීම නිසා මෙම අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය අනුමාන කරයි.
අනතුර වන අවස්ථාවේ වෑන්රථයේ 12 දෙනෙකු ගමන්කර ඇති අතර ඉතිරි දෙදෙනාගේද තත්ත්වය බරපතල මහියංගණය මූලික රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය. මෙම තුවාලකරුවන් දෙදෙනාම වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහල වෙත පිටත්කර යවා තිබේ.
වැඩිහිටියන් 7 දෙනෙකු හා ළමුන් තිදෙනකු අනතුරින් මියගොස් ඇත. මළසිරුරු මහියංගන මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත.
අනතුරට පත්වූ වෑන් රියේ සිටි පිරිස මඩකලපුවේ සිට ජා ඇල සිටින ඥාතීන් පිරිසක් බැලීමට ගොස් නැවත සිය ගම් පෙදෙස බලා එමින් සිට ඇත.
මියගිය 10 දෙනා පවුල් තුනකට අයත් පිරිස වෙති. ඔවුන් අතර වයස අවුරුදු 56 ක් සහ 50 ක් වූ අඹු සැමි යුවළක් සිටින අතර ඔවුහු මියගිය දරුවන්ගේ සීයා සහ මිත්තණිය වෙති. මේ දෙදෙනාම මඩකලපුව පනිච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෝ ය.
මඩකලපුව ඩවුබාර් පාරේ පදිංචිව සිටි මවත් පියාත්, ඔවුන්ගේ නිවුන් දියණියෝ දෙදෙනාත් යන සිව්දෙනාම අනතුරෙන් මියගියහ.
මඩකලපුව රත්නම් පාරේ පදිංචිව සිටි අඹුසැමි යුවළත්, වෑන් රිය පැදවූ ඔවුන්ගේ 19 හැවිරිදි පුතා සහ 10 හැවිරිදි දියණියත් මියගියහ. එම පවුලේම 13 හැවිරිදි දියණිය සහ ජා ඇල සිට පැමිණි 16 හැවිරිදි ඥාති දියණිය බරපතළ තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර සිටිති.
අනතුරක් වළක්වා නොගැනීමේ චෝදනාව මත පෞද්ගලික බස්රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි.
මහියංගණය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වයි.
(ඡායාරූප - පාලිත ආරියවංශ)






(වසන්ත චන්ද්‍රපාල - අනතුරින් මිය ගිය පිරිසගේ ඡායාරූප)








(ග්‍රැෆික් නිර්මාණය - නිමල් ජයශාන්ත)

COMMENTS
රියදුරාට නින්ද යන එක ලංකාවේ සුලබ දෙයක්. මේ පිළිබඳව පොලිසි හෝ අනිකුත් බලධාරීන් රියදුරන් දැනුවත් කිරීමේ වැඩ පිළිවලක් නොකරන්නේ ඇයි?
මුදල පමණක් සිතා බොහෝ කැබ් සේවා කරන අය නිදිමරමින් හයර් දුවනවා. මගීන් ගැන කිසිම තැකීමක් නෑ. දියුණු රටවල්වල පැය 4 කට වඩා එක දිගට මගී බස් රථ ධාවනය කරන්න අවසර නෑ. එක රියදුරෙක් දිනකට ධාවනය කලයුතු පැය ගණනත් සීමිතයි. බලධාරීන් මේවා සොයා බලා අවශ්‍ය නීති සම්පාදනය කලයුතුයි.
මීට වැඩිය පාරවල් වලට පොලිසිය දාන්න ඕන.
ලංකාවේ රියදුරන්ට දෙන පුහුණුව ඉතා ප්‍රාථමිකයි. වාහනයක් පැදවීමේදී ඔහුගෙන් අනිත් පදිකයින්ට, වාහන වලට සිදුවිය හැකි අපහසුතා, අනතුරු තමන්ගේ විනය, ආරක්ෂාව ගැන රියදුරු පුහුණුවේදී ලැබෙන දැනුම ඉතාම අල්පයි. කොටින්ම අපගේ රියදුරු පුහුණු කරන ආයතන වලට එවැනි දැනුමක් නැත. ඩුබායි වැනි රටවල රියදුරු බලපත්‍රයක් දීමට ප්‍රථම දෙන පුහුණුව ඉතා අනර්ගයි සහ බලපත්‍රයක් ලබාගැනීමත් එක්තරා ආකාරයක ජයක්. රජය එවැනි පුහුණුවක්, නිවැරදිව, බලපෑම්වලින් තොරව ලබා දීමට උත්සුක වියයුතුයි.
මේ ලොරි බස් උසින් වැඩි නිසා පොඩි වාහනයක් වැදුනු විට ඇතුලට යනවා. මේ නිසා අනතුරින් සිදුවන හානිය වැඩියි. දැන්වත් ඉන්දියාව සතුටු කිරීම වෙනුවට මාර්ග ආරක්ශාව ගැන සලකා බලා වාහන ගෙන්වන්න. මියගිය හා තුවාල අය ගැන බලවත් කනගාටුව!
දිනෙන් දින වැඩිවෙන මෙවැනි මාරක අනතුරු වළක්වා ගැනීම සඳහා වාහන වල වේගය සීමා කිරීම අනිවාර්යයෙන් ම කළ යුතු යැයි මගේ අදහසයි . එසේ ම වංගු සහිත තැන්වල මාර්ග සංඥා යෙදීමෙන් අනිවාර්යයෙන්ම වේගය සීමා වේ
බස් රියදුරාට අනතුර වලක්වා ගැනීමට බැරි වුණේ ආපු වේගය ඉතාම වැඩි නිසා විය යුතුයි. එය සමහරවිට 120-150 අතර වෙන්නත් පුළුවන්. මේ රටේ බස් දාවනයට කිසිම වේග සීමාවක් නැහැ වෙන රටවල වගේ. වේග සීමාව 72 වුනාට බස් යන්නේ ඊට වඩා බොහොම වේගෙන්. විශාල වාහන එහෙම ගියාම අනතුරු සිදුවීම් සහ ඒවායේ බරපතලකම ඉතාම වැඩියි. ඒවාට කිසිම නීතියක් මේ රටේ නැහැ. හරි නම් බස් වල උපරිම වේගය විය යුත්තේ පැයට කිලොමීටෙර් 60 යි. කිසිම වගකීමක් නැති රටක මෙවැනි දේවල් සිදුවීම පුදුමයක් නෙවෙයි.
මේක නම් හරිම අපරාදයක්.... දවසකට කී දෙනෙක් මැරෙනවාද? මේකට වගකියන්න ඕනේ රියදුරා තමයි.... අපරික්ෂාකාරී රිය දාවනයට...
අපේ රටේ නායකයෝ, පාලකයෝ ඉන්නවද කියල හිතෙනවා මේවා දැක්කම. දවසට කීයක් නම් මැරෙනවද රිය අනතුරු වලින් එකෙක්ට ගාණක් තියෙනවද? අලුත් නීති ගේන්න පුළුවන්, රියදුරු බලපත්‍රය ගන්න එක වැඩි දියුණු කරන්න පුළුවන්, තාක්ෂණය වැඩිපුර යොදාගන්න පුළුවන්. එත් අද 10යි හෙට 6යි කියා කියා ඉන්නවා.
" සුක්කානම මත නින්දයාම " මේකට හේතුන් හුඟක් තියනවා .... 1, දියවැඩියාව .. තප්පර කිහිපයක්තුල රියදුරා නින්දට වැටීම 2, රෑ...එළිවෙනකම් නිදිමරල ... අධික මහන්සියෙන් / නිදිමතින් රියපැදවීම 3, මත්පැන් .. මත්ද්‍රව්‍ය ..
වෑන්රථයේ රියදුරාට නින්ද ගොස් මාර්ගයේ වැරදි මංතීරුවට ධාවනය වීම නිසා මෙම අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය අනුමාන කරනවානං, ඇයි එම පොලීසිය විසින්ම අනතුරක් වළක්වා නොගැනීමේ චෝදනාව මත පෞද්ගලික බස්රථ රියදුරු අත්අඩංගුවට ගෙන චෝදනා එල්ල කරන්නේ?
ජා-ඇල පැත්තෙන් ගමන් ඇරඹුවානම් ඉතින් කට්ටියම හොඳින් සප්පායම් වෙලා එන්න ඇත්තේ. ලංකාවේ බොහෝ රියදුරන් මත්පැන් වලින් සප්පායම් වී රිය පදවන නිසා හැම තැනකම පාහේ වාහන නවතා පරීක්ෂණ කල යුතුයි.
හැම දේටම ආණ්ඩුවට ඇඟිල්ල දික්ක කරන්න එපා. රියදුරාට නින්ද නැතිව වාහනය පදවන්න එය දන ගත යුතුයි. මේ නීති අද ඊයේ සිට නොවේ තියෙන්නේ. කොපමණ කිවත් වහනය අතට ගත්තම මෙලෝ සිහියක් නැතිව යන්නේ .පව් දැන් ජිවිත කියක් ද. අවුරුද්දට ගිය චාරිකාවක් වෙන්නැති දෙයියනේ
අවුරුදු 19 ක කොල්ලෙක් එලවල තියෙන්නේ. පළපුරුදු මනුස්සයෙක් එලෙව්වනම් වේගය ගැන අවබෝධයක් තියෙන්න තිබුණා
වෑන් රථයේ රියදුරාට නින්ද ගොස් පාරේ අනික් පසින් පැමිණි බස් එකේ ගැටුණා නම්, එයට බස්රථ රියදුරු වගකියන්නේ කෙසේද? අද සිදුවන බොහෝ රිය අනතුරු වලට හේතුව රියදුරන් බීමත්ව සිටීම, නින්ද යාම, අධික වේගයෙන් රිය පැදවීම යන කරුණුයි. මේවට වග කිව යුත්තේ වගකීමෙන් තොරව රිය පදවන රියදුරන් මිස, පොලිසිය නොවේ.
රියදුරු බලපත්‍රයට අමතරව "" මගීන් ප්‍රවාහනය කිරීමේ බලපත්‍රයක් "" නැති පුද්ගලයින්ට මගීන් ( 4 ) හතර දෙනෙකුට වැඩිය ප්‍රවාහනය කිරීම තහනම් ..!!!! මෙන්න මේ විදිහට තමයි දියුණු රටවල්වල .. මනුස්සයෝ එයාලගේ ජීවිත ආරක්ෂාකරගෙන තියෙන්නේ ..!! මේවගේ " මගීන් ප්‍රවාහනය කිරීමේ බලපත්‍රයක් " නැති කෙනෙකුට ... ටැක්සි ... ත්‍රීවීල් .... වගේ වෘත්තියක් වශයෙන් මගීන් ප්‍රවාහනය කිරීමත් තහනම් !!! මේ වගේ හොඳ .. ඇඟට , පතට ගුණ දේවල් අපි..අපේ මාර්ග නීති වලට අඩංගු කරගනීමට කාලය ඇවිල්ල නේද ..
අනතුරක් වලක්වා නොගැනීම යනු පුදුම චෝදනාවකි. අධිකරණයේ මෙය පිලිගැනීම සලකා බැලීම වටී. නිදොස් පුද්ගලයන් සඳහා දඩුවම් ලබා දීම සඳහා වටිනා චෝදනාවකි.
ආරංචියේ හැටියට වයස 19 ක ඉතා මෑතකදී රියදුරු බලපත් ගත් සීමිත අත්දැකීම් ඇති තරුණයෙක් වෑන් රථය එලවා තිබෙන්නේ. නින්ද යාම නිසා වැරදි මං තිරුවේ ධාවනය සිදු වී තිබෙනවාලු. විමතියට කාරණාව නම් බස් රථයේ රියදුරා පොලිසියට කුදලාගෙන යාම.
වැරදි මං තීරුවේ ඇවිත් තියෙන්නේ. බස් රියැදුර මොන කරන්නද? ඔහු කොතරම් උත්සහ කලත් වැඩක් නැ
හුගක් වෙලාවට අනතුරු සිදුවෙන්නේ ගමන් යනකොට නෙමේ ගිහින් එනකොට. යනකොට විනෝද වෙමින් යන අය එනකොට මර නින්දේ. රියදුරු ගැන අවදානයෙන් එක්කෙනෙක්වත් සිටිනවානම් මෙවැනි අනතුරු වලක්වගන්න පුළුවන්.
රියදුරු අසුන ළඟ වාඩි වෙලා යන පුද්ගලයා නිදාගන්න හොද නෑ. මමත් බදුල්ලේ වැඩ කරන කාලේ ආයතනයේ වාහනයකින් කොළඹ එද්දී රියදුරු ළඟ පුද්ගලයා නිදා ගත්තා. රියදුරුට නින්ද යනවා කියල පිටිපස්සේ ආව මට තේරුණා වාහනේ එහා මෙහා යද්දී. ඊට පස්සේ මම ඉදිරි අසුනට ගිහින් රියදුරු සමග කතා කර කර ගියා ගමනාන්තය දක්වා. එම රියදුරා ඊට කලින් දවසෙත් කොළඹ ඇවිත්. අඩු නින්ද තමා හේතුව. එදා සිට මම ආයතනේ වාහනෙකින් යනවානම් ඉදිරි අසුනේ යන්නේ. මටත් නින්ද අවශ්‍ය වෙයි කියල හිතනවානම් අතින් සල්ලි ගියත් බස් එකේ යන්නේ.
බස් එක නවත්වල තිබුණේ සේරන්ති හෝටලයේ පැත්තේ නම් බස් රථ රියදුරු වැරදි!
බස් එකක් පාරේ යනවනම් දෙවියන්ගේම පිහිටයි.....