(මනෝප්‍රිය ගුණසේකර)

 

වෘත්තීය සමිතියකට අයත් රුපියල් ලක්‍ෂ 39ක මුදලක් සාපරාධි අන්දමින් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා ලැබ සිටින රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විත්තිය වෙනුවෙන් සාක්කි කැඳවීමකින් තොරවම නිදොස් කොට නිදහස් කරනවාද? නැද්ද? යන්න පිළිබඳ තීන්දුව ලබන 25 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතාගෙන් අද (08) දැනුම් දුන්නේය.

 

රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහි නඩුවේ පැමිණිල්ලේ සාක්කි විභාගය අවසන් කරන බව නීතීපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥවරයා අධිකරණයට දැනුම් දුන් අවස්ථාවේදී මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ නලීන් ලද්දුවහෙට්ටි මහතා කළ ඉල්ලීමක් සළකා බැලු විනිසුරුවරයා එලෙස දැනුම් දුන්නේය.

 

මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නොමැති හෙයින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වැනි වගන්තිය යටතේ විත්ති පාර්ශවය වෙනුවෙන් සාක්කි නොකැඳවාම විත්තිකරු නිදහස් කරන්නැයි ජනාධිපති නීතීඥ නලීන් ලද්දුවහෙට්ටි මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

 

ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොන්ග්‍රසය යන වෘත්තීය සමිතියට අයත් රුපියල් ලක්‍ෂ 39ක මුදලක් සාපරාධි අන්දමින් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය මෙන්ම විදුලිබල රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව පවරා ඇති නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

 

2012 ඔක්තෝම්බර් 31 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹ, නාවල, ජයවර්ධපුර සහ කෝට්ටේ යන ස්ථාන වලදී ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොන්ග්‍රසය යන වෘත්තීය සමිතියට අයත් රුපියල් ලක්‍ෂ 39ක මුදලක් සාපරාධි අන්දමින් සාවද්‍ය පරිහරණය කිරීම හා එම මුදල සම්බන්ධයෙන් විශ්වාසය කඩ කළ බවට නීතීපතිවරයා විසින් විත්තිකාර හිටපු ක්‍රීඩා අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව නඩු පවරා තිබිණි.

 

ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසය නමැති වෘත්තීය සමිතිය විසින් විත්තිකරුගේ බාරයට පත් කර තිබු රුපියල් ලක්‍ෂ 39ක මුදලක් වංක ලෙස සිය ප්‍රයෝජනයට ගෙන ඇති බව නීතීපතිවරයා විසින් අධිකරණයට දැනුම් දී තිබිණි.

 

විත්තිකරුට එරෙහි මෙම චෝදනා සනාථ කිරීම සඳහා සාක්කිකරුවන් 20 දෙනෙකු හා ලේඛන 8ක් ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කරන බව නීතීපතිවරයා විසින් අධිකරණයට දැනුම් දී තිබිණි.

 

මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥවරිය කරුණු ඉදිරිපත් කරමින් විත්තිකරුට එරෙහි නඩුවේ පැමිණිල්ලේ සාක්කි විභාගය අවසන් කරන බව දැනුම් දුන්නාය.

 

ඒ අවස්ථාවේදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ නලීන් ලද්දුවහෙට්ටි මහතා අධිකරණය අමතමින් තම සේවාදායකයාට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නොමැති හෙයින් විත්තිය වෙනුවෙන් සාක්කි නොකැඳවාම අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වැනි වගන්තිය යටතේ තතම සේවාදායකයා නිදහස් කරන්නැයි ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වු කරුණු සළකා බැලු විනිසුරුවරයා මෙම ඉල්ලීම පිළිබඳ තීන්දුව නඩුව ලබන මස 25 වැනිදා ප්‍රකාශයට පත් කරන බව දැනුම් දුන් අතර නඩුව එදින යළි කැඳවීමටද නියම කළේය.

විත්තිකරු වෙනුවෙන් නීතීඥ කාංචන රත්වත්තේ, සාලික ගුණවර්ධන, අෆිස් ෆාරිස් සහ දිනේෂ් ලියනගේ සමඟ ජනාධිපති නීතීඥ නලීන් ලද්දුවහෙට්ටි මහතා පෙනී සිටියේය.