(ඩයනා උදයංගනී) 


අමාත්‍යාංශවල මහජන දිනය ලෙස වෙන්කර ඇති බදාදා දිනයේ දී අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා රාජ්‍ය නිලධාරීන් වෙනත් කටයුතු යොදානොගෙන ජනතාවගේ ගැටලු විසඳීම සඳහාම වෙන්කරගත යුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා කැබිනට් මණ්ඩල රැස්වීමේදී දැනුම් දී ඇත.


බදාදා දිනවල වෙනත් කිසිම රැස්වීමක් යොදා නොගෙන කාර්යාලයේ රැඳී සිටින ලෙස සියලු නිලධාරීන්ට උපදෙස් දෙමින් අමාත්‍යාංශ ලේකම්වරයා ලවා චක්‍රලේඛයක් නිකුත් කරන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී ඇමැතිවරුන්ට පවසා තිබේ.

 

තම ගැටලු විසඳාගැනීම සඳහා දුරබැහැර සිට කොළඹට පැමිණෙන ජනතාවගේ ගැටලු එම ස්ථානයේදීම කාර්යක්‍ෂම විසඳා දෙන ලෙස ද ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙහිදී දැනුම් දුන් බව සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (3) පැවසීය.


සම කැබිනට් ප්‍රකාශකවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (3) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.


සම කැබිනට් ප්‍රකාශක, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මෙහිදී පැවසුවේ රාජ්‍ය නිලධාරීන් බදාදා දිනවල විවිධ රැස්වීම් සම්මුඛ සාකච්ඡා යොදාගැනීමට නිසා මහජන දිනයේදී ජනතාව ඉදිරිපත් කරන ප්‍රශ්න විසඳීමට රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ කරගැනීමට නොහැකි වන බව අමාත්‍යවරුන් විසින් මෙහිදී ජනාධිපතිවරයාට දැනුම් දුන් බවයි.


එබැවින් ප්‍රශ්න විසඳගැනීමට එන ජනතාවට හිස් අතින් ආපසුයාමට සිදුවන බව ද ඇමතිවරුන් ජනාධිපතිවරයාට පැවසූ බව කී ඇමැතිවරයා එයට විසඳුමක් ලෙස ජනාධිපතිවරයා මෙම පියවර ගත් බව ද කීවේය.