(ඩයනා උදයංගනී)
මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා අද (10) සුබ මොහොතින් සිය ධූරයේ වැඩ භාරගත්තේය.
බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු විෂය භාර අමාත්‍යවරයා වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා විසින් මෙම නව පත්වීම සිදුකර ඇති අතර ඔහු සිය පත්වීම් ලිපිය එම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා අතින් ලබාගත්තේය.
මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා දකුණු ආසියානු පුරාවිද්‍යා සංගමයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස ද කටයුතු කරයි.
මෙරට පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය තනතුරට පත්වූ ලාබාලම පුද්ගලයා වන මහාචාර්ය රණසිංහ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් 2004 වසරේදී ශාස්ත්‍රවේදී (පුරාවිද්‍යා) විශේෂ උපාධිය ලබාගත්තේ පළමු පෙළ පන්ති සාමාර්ථයක් ද සහිතවය.
කැලනිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාද් උපාධි ආයතනයෙන් පුරාවිද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධියත්, ඉන් පසු චීනයේ ෂියාමන් විශ්ව විද්‍යාලයෙන් සමුද්‍ර පුරාවිද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියත් ලබාගෙන ඇත.
එය මුහුදු පුරාවිද්‍යාව පිළිබඳ ශ්‍රී ලංකාවේ පළමු ආචාර්ය උපාධිය වන අතර ඔහු එම විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයේ දක්‍ෂතම ශිෂ්‍යයාට හිමි සම්මානයද හිමිකරගෙන තිබේ.