(ටී.කේ.ජී.කපිල)

ශ්‍රී ලංකා රජය විසින් ඇනවුම් කර ඇති " ෆයිසර් " එන්නත් මාත්‍රා 40 ලක්ෂයක ප්‍රමාණයෙන් , පළමු එන්නත් තොගය ලෙස , එන්නත් මාත්‍රා 304,000 ක ප්‍රමාණයක් අද (04) අලුයම දෝහා සිට කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ .

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් , ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාව විසින් , මෙම " ෆයිසර් " එන්නත් මාත්‍රා ලක්ෂ 40 ක ප්‍රමාණය ඇනවුම් කළ බවත් , එම එන්නත් මෙසේ කොටස් වශයෙන් ශ්‍රී ලංකාව වෙත ගුවන් මගින් ලැබෙන බවත් , ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී දිනූෂ දසනායක මහතා පැවසීය .

ඒ අනුව කිලෝ ග්රැම් 1817 ක් බරැති , පෙට්ටි 53 ක් තුළ අසුරා ඇති, මෙම එන්නත් තොගය මුළින්ම නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර සිට , කටාර් රාජ්‍යයේ දෝහා වෙත ගුවන් මගින් ගෙනැවිත්  තිබුණි .

ඉන්පසුව එතැන් සිට මෙම එන්නත් තොගය කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් 10/04 දින අලුයම 02.00 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් තිබුණි.

ගුවන් යානයෙන් මෙම එන්නත් තොගය ගොඩ බෑමෙන් පසුව , ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ ගම්මානයේ ශීතකරණ තුළ තැන්පත් කළ අතර , ඉන්පසුව ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් ඔවුන්ගේ කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන යාමට පියවර ගෙන තිබේ .