(තිළිණි ද සිල්වා )
 
 
පාස්කු ඉරුදින ත‍්‍රස්ත ප‍්‍රහාර වලින් පසුව ජනාධිපතිවරයා විසින් ප‍්‍රකාශයට පත් කරනු ලැබූ හදිසි නීති රෙගුලාසි මාලාවේ අඩංගු ඇතැම් වගන්තිවලින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර තිබෙන මූලික අයිතීවාසිකම් උල්ලංඝණය වී ඇතැයි කියමින්  සිවිල් සමාජ ක‍්‍රියාකාරීන් දෙදෙනෙකු ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ඉවත දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය  අද (09)  තීන්දු කළේය.
 
 
ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබා දෙනු ලැබුවේ එම පෙත්සම් අස්කර ගැනීමට පෙත්සම්කාර පාර්ශවය කළ ඉල්ලීම සලකා බලමිනි.
 
 
මෙම පෙත්සම් බුවනෙක අළුවිහාරේ , එල්.ටී.බී.දෙහිදෙණිය සහ ප‍්‍රිත් පද්මන් සූරසේන යන මහත්වරුන් ගෙන් යුතු ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද  (09)  කැඳවුණි.
හදිසි නීතීය  මේ වන විට ඉවත් කර ගෙන ඇති හෙයින් මෙම පෙත්සම් මඟින් ඉල්ලා ඇති  සහන දැනටමත්  ලැබී ඇති බවත්, එබැවින් පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමට අපේක්ෂා නොකරන බවද නීතීඥ විරාන් කොරයා මහතා අධිකරණයට දැනුම් දුන්නේය.
 
 
එබැවින් පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමට නීතීඥ විරාන් කොරයා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර ඉල්ලීය.
 
ඒ අනුව පෙත්සම්කාර පාර්ශවයේ ඉල්ලීමට අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම් විභාගයට නොගෙනම ඉවත දමන ලදී.
 
 
විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු සහ පුරවැසි බලය සංවිධානයේ ගාමිණී වියන්ගොඩ යන මහත්වරු විසින් ගොනු කර තිබූ මෙම  පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, ආරක්ෂක ලේකම් ශාන්ත කෝට්ටේගොඩ සහ නීතිපතිවරයා නම් කර තිබුණි.
 
ගොනු කර තිබූ එම පෙත්සම්හි මෙසේද සඳහන් විණි.
 
 
ඉකුත් අපේ‍්‍රල් මස 21 වන පාස්කු ඉරුදින එල්ලවූ මරාගෙන මැරෙන ත‍්‍රස්ත ප‍්‍රහාර වලින් පසුව රටේ උද්ගත වූ තත්ත්වය සැලකිල්ලට ගෙන ජනාධිපතිවරයා විසින් හදිසි නීතිය ප‍්‍රකාශයට පත් කළේය. ඊට පසු දින එනම් අපේ‍්‍රල් 22 වැනිදා පාර්ලිමේන්තුව විසින් එම හදිසි නීතිය ප‍්‍රකාශයට පත් කිරීම ඒකමතිකව අනුමත කර ඇති බවද පෙත්සම්කරුවන් පවසයි.
 
එලෙස ජනාධිපතිවරයා විසින් ප‍්‍රකාශයට පත් කරන ලද 2019 වසරේ අංක 1 දරණ හදිසි නීති විශේෂ විධිවිධානවල අඩංගු ඇතැම් වගන්ති වලින් මෙරට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළින් සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇත.
 
මෙම හදිසි අවස්ථා රෙගුලාසි 19 (1) වගන්තිය අනුව පුද්ගලයෙකු රැඳවුම් නියෝග යටතේ තබා ගැනීමේ පූර්ණ බලධාරියා වන්නේ ආරක්ෂක ලේකම්වරයාය.ඒ අනුව අධිකරණයේ මැදිහත් වීමකින් තොරව වසරක කාලයක් පුද්ගලයෙකු රැඳවුම් නියෝග යටතේ රඳවා ගැනීමට ආරක්ෂක ලේකම්වරයාට බලය ඇත. 


මෙය අධිකරණයේ බලතල කප්පාදු කිරීමකි.මෙම රෙගුලාසි 58(1) සහ 58(2)  වගන්ති අනුව නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට මහේස්ත‍්‍රාත් විභාගයකින් තොරව මෘත ශරීරයන් ආදාහනය කිරීමේ බලය ලැබේ.
 
එමෙන්ම හදිසි නිති රෙගුලාසි මාලාවේ අඩංගු තවත් සමහර වගන්තිවලින් අධිකරණය සතු බලතල සීමා කිරීමක් සිදුවේ.
 
මේ හේතුවෙන් ජනාධිපතිවරයා විසින් ප‍්‍රකාශයට පත් කර තිබෙන හදිසි නීති රෙගුලාසි තුළ අන්තර්ගත ඇතැම් වගන්ති වලින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන මෙන් ද පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති.
 
එබැවින් මෙම පනතෙහි ඇතැම් වගන්තීන් මඟින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවද ප‍්‍රකාශ කරන ලෙස ද , 19(1) සහ 58 (2) වගන්තීන් ක‍්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරුවන් සිය පෙත්සම් වලින් ඉල්ලා ඇත.
 
 පෙත්සම්කරුවන් වෙනුවෙන් බාලේන්ද්‍ර නීතීඥ සමාගමේ උපදෙස් මත නීතීඥ එම්.ඒ සුමන්තිරන් සහ නීතීඥ විරාන් කොරයා යන මහත්වරුන් පෙනී සිටියහ.
 
නීතිපති වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ ෆර්සානා ජමීල් මහත්මිය පෙනී සිටියාය.