( තිළිණි ද සිල්වා )

මියන්මාරය් ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කළ මහාචාර්ය නලින් ද සිල්වා මහතා එම ධූරයන් ඉවත්ව අද (16) යළි දිවයිනට පැමිණියේය.

මියන්මාරයේ ශ්‍රී ලංකා තනාපතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය නලින් ද සිල්වා මහතා එරට සිට අද පෙරවරුවේ නැවත දිවයිනට පැමිණ ඇති අතර ඔහු මේ වනවිට නිරෝධායනය සඳහා යොමු වී ඇත.

මහාචාර්ය නලින් ද සිල්වා මහතා එම තානාපති ධූරයෙන් ඉවත් වීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් කළ විමසීමකදි විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක සුගීෂ්වර ගුණරත්න මහතා ද තහවුරු කර සිටියේ නලින් ද සිල්වා මහතා තානාපති ධූරයෙන් ඉවත්ව ‌මේ වන විට දිවයිනට පැමිණ ඇති බවය.

එම තානාපති ධූරයෙන් ඉවත් වීම සදහා මහාචාර්ය නලින් ද සිල්වා මහතා නිල වශයෙන් ඉල්ලීමක් කළ බවත් , ඒ අනුව අදාළ ඉල්ලීමට රජය අනුමැතිය ලබා දුන් බව විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක සුගීෂ්වර ගුණරත්න මහතා වැඩිදුරටත් ලංකාදීපයට පැවසීය.

ඉකුත් පෙබරවාරි මාසයේදී ශ්‍රී ලාංකික ධීවරයන් පිරිසක් මියන්මාර් බළධාරීන්ගේ අත්අඩංගුවට පත් වූ අවස්ථාවේදී ඔවුන් වෙනුවෙන් තානාපතිවරයා ලෙස කිසිවක් සිදුකළ නොහැකි වූ බව නලින් ද සිල්වා මහතා පවසා තිබූ අතර රටේ ජනතා වෙනුවෙන් කිසිදු කාර්යයක් සිදුකළ නොහැකි තනාපති තනතුරකින් වැඩක් නැතැයි පවසමින් එම ධුරයෙන් ඉල්ලා අස්වන බවද ඔහු පවසා තිබිණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මියන්මාරය් ශ්‍රී ලංකා තානාපති වශයෙන් මහාචාර්ය නලින් ද සිල්වා මහතා පත් කළ අතර ඉකුත් වසරේ සැප්තැම්බර් 01 වැනිදා සිට වසරකට ආසන්න කාලයක් හෙතෙම එම ධූරයේ කටයුතු කළේය.

මෙරට සිටින ප්‍රවීන භෞතික විද්‍යාඥයෙක් සහ දේශපාලන විශ්ලේෂකයෙක් වන මහාචාර්ය නලින් ද සිල්වා මහතා කැලණිය විශ්ව විද්‍යාලයේ ගණිත අධ්‍යයන අංශයේ මහාචාර්යවරයකු ලෙසද , එම විශ්ව විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ පීඨාධිපති ධූරය ද ඉසුලුවේය.