(නිමල කොඩිතුවක්කු)

රට දැවැන්ත අර්බුදයකට පත්ව ඇති අවස්ථාවක ජිනීවා මානව හිමිකම් කවුන්සිලය සමඟ ගැටලු ඇති කර නොගැනීමට රජය වග බලා ගත යුතු බව  සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ  සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා පැවසීය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය යම් දැඩි තීරණයකට යොමු වුවහොත් එයින් ජනතාව දැඩි පීඩාවට පත්වනු ඇති බවත් ජයසූරිය මහතා සඳහන් කළේය.

සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය කොළඹ ජානකී හෝටලයේදී කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ  සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා මෙසේද කීය.

 “අද අපේ මවුබිම අවුල් වූ නූල් බෝලයක් වගේ හැම අතකින්ම පටලවලා.   එක් අතකින් කොවිඩ් වසංගතය නිසා ජනතාව මහා පීඩනයකට ලක්වෙලා තිබෙනවා. ආර්ථිකය විශාල කඩා වැටීමකට පත්වෙලා. ජීවන වියදම බලවත් ලෙස ඉහළ යෑම නිසා ජනතාව නොකා නොබී ජීවත් වන තත්වයකට පත්වෙලා. තුන්වේල නොකන පවුල් බොහෝ ගණනක් අද මේ රටේ ඉන්නවා.

එක පැත්තකින් මේ විදිහට රට පටලවාගෙන තියෙද්දී තවත් අතකින් ලෝකයේ බලවත් රටවල් කිහිපයක් ලංකාවට එරෙහිව මානව හිමිකම් කවුන්සිලය වෙත වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. එහි සම්බාධක පැණවීම් ගැනද කතා කරනවා.

බ්‍රිතාන්‍යය,ජර්මනිය,කැනඩාව ඇතුලු ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ක්‍රියාකාරී වන කණ්ඩායමට අයත් රටවල් කිහිපයක් විසින් ශ්‍රී ලංකාව පිළිබද කරන්නා වූ යෝජනාවක ප්‍රථම  කෙටුම්පත පසුගිය දා ප්‍රකාශයට පත්කර තිබෙනවා. මෙම යෝජනාව පිළිබදව මාර්තු මස 1 වනදින සාකච්ජා කිරීමට නියමිතයි.

අදාල යෝජනාවේ ඇතුළත් ක්‍රියාකාරීත්ව ජේදයන් පිළිබඳව සැළකීමේදී අප රට හමුවේ බලවත් අභියෝගාත්මක තත්වයක් දක්නට තිබෙනවා. අප රටක් ලෙස ඒ පිළිබදව බලවත් ලෙස අවධානය යොමුකළ යුතුයි.

එහිදී රජය ඉතාමත්ම බුද්ධිමත්ව එමෙන්ම පරිණත රාජ්‍ය තාන්ත්‍රික ඥාණයෙන් යුතුව මෙන්ම අවංකව රට වෙනුවෙන් පෙනී සිටිනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.

එසේ කටයුතු නොකරමින් අප මේ ප්‍රශ්නය තවත් අවුල් කරගතහොත් ඒ හේතුව නිසාම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය යම් දැඩි තීරණයකට යොමු වුවහොත්, එයින් පීඩාවට පත්වනු ඇත්තේ මේ රටේ පාලකයන් හෝ දේශපාලකයන් නොවේ. අසරණ ජනතාවයි.

20 වැනි සංශෝධනය ගෙන ඒම තුළ අද රටේ විශාල අවුලක් ඇති වී තිබෙනවා. මහා සංඝරත්නය ඇතුලු අන්‍ය ආගමික ප්‍රජාවේ අති බහුතරයක් මෙන්ම සමාජයේ වැඩි කොටසකින්ම 20 වැනි සංශෝධනය ගැන ඇත්තේ විරෝධයක් හා පිළිකුලක්.

එනම් 20 වන සංශෝධනය මඟින් එක් පුද්ගලයෙකු වෙත අසීමාන්තික බලතල ලබාගනිමින් ඔවුන් රටට ලබාදෙන්නේ යැයි කියූ ජයග්‍රහණ කිසිවක් හෝ ලබාදී තිබෙනවාද යන්න 20 වන සංශෝධනය වෙනුවෙන් පෙනී සිටි පාර්ශවයන්ගෙන් විමසීමට මම කැමතියි.

ඇත්තටම 20 වන සංශෝධනයෙන් රටේ ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු වුණා ද? රට මුහුණ දෙන ආර්ථික අර්බුදය ජය ගන්නට එය පිටුවහලක් වී තිබෙනවා ද? කොවිඩ් වසංගතය මර්දනය කරන්න ඒ මඟින් ලබාගෙන ඇති පිටු බලය කුමක් ද කියා අපි විමසනවා.

රටේ මහජන නියෝජිතයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව ශක්තිමත් කරන්න, අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කරන්න ඒ මඟින් පුළුවන් වුණා ද? වෙන දෙයක් තබා ජීනිවා අභියෝගයට මුහුණ දෙන්න 20 වන සංශෝධනය මඟින් එක් පුද්ගලයෙක් ලබාගත් අසීමාන්තික බලයට හැකියාවක් තිබෙනවා ද?

නමුත් 20 වන සංශෝධනය මඟින් ඒ සියල්ලම ආපසු හරවා තිබෙනවා. රටේ නීති සම්පාදනය කරන ආයතනය පුරන් වූ කුඹුරක් කරමින් මහජන නියෝජිතයන් ඒ වටා සිටුවා තබන පඹයන් බවට පත්කර තිබෙනවා.

රටේ ආර්ථිකය ඉතිහාසයේ අන් කිසිදු යුගයක දකින්නට නොතිබූ ආකාරයට ප්‍රපාතයකට  ඇද වැටෙමින් තිබෙන ආකාරයක් දකින්නට තිබෙනවා. ජාත්‍යන්තර  වශයෙන් ගත්විටද අද අපේ රට බොහෝ ගෞරවණීය මිතුරන් අහිමි කරගෙන තිබෙනවා. ශ්‍රී ලංකාව ලෝකය තුළ හුදකලා වෙමින් පවතින රටක් බවට පත්කරමින් තිබෙනවා.

ඊට අමතරව මුස්ලිම් ප්‍රජාවගේ පාරම්පරික චාරිත්‍ර  වලට බාධා කරමින් භූමදානයට ඉඩ නොදෙන ලෝකයේ එකම රට වශයෙන් අපේ රටට ලෝක මුස්ලිම් රටවලින් හා ජනතාවගේ විරෝධය දැඩි ලෙස එල්ලවී තිබෙනවා.

එමෙන්ම 20 වැනි සංශෝධනය නිසා ඇතිවු මහා විනාශය තවත් මහා විනාශයක ආරම්භයක් වෙන්නත් පුළුවන්. මේ සිද්ධීන් ඇති වුනේ වර්තමාන පාලනය තුළ, එම නිසා ඒ කරුණු දැඩි අධ්‍යයනයට ලක්කිරීම මේ අවස්ථාවේ ගතහැකි බුද්ධිමත් පියවරක් ලෙස අපි දකිනවා.

නමුත් කණගාටුවට කරුණ වන්නේ රට වෙලාගෙන ඇති එවැනි ගිණි නිවනවා වෙනුවට බලලෝභයෙන් මත් වුණ කිහිපදෙනෙක් එයින් ගිණි තපිමින් ඒ ගින්දර තව තවත් අවුලවන ආකාරයක් ද දකින්නට තිබීමයි. තමන්ගේ කඳවුරට හා කල්ලියට අයත් නොවන වෙනස් මත දරන්නා වූ දේශපලඥයන් දඩයම් කිරීම සඳහා ඔවුන් දක්වන උනන්දුව හා අපේක්ෂාව සළකා බලන විට ඒ බව තේරුම් ගන්න පුළුවන්.