(සුජිත් හේවාජුලිගේ )

කෝට්ටේ මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාගෙන ඇති මන්ත්‍රීවරුන් එකසිය දොළොස් දෙනාගෙන් 60 කට වැඩි පිරිසක් එම නිවාසවල පදිංචි නොවී තම කිට්ටුවන්ත ඥාතීන්, හිතවතුන් හා තමන්ට ආරක්ෂාව ලබා දෙන ආරක්ෂක අංශ නිලධාරීන් ඒවායේ පදිංචි කරවා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග මාර්ගවලින් පැවසේ.

මාදිවෙලින් තමන්ට ලැබුණු නිල නිවාස කිසි දිනෙක සියැසින් නොදුටු අය පවා මේ මන්ත්‍රීවරුන් අතර සිටින බව පාර්ලිමේන්තුවේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

ඇතැම් මන්ත්‍රීවරුන් තම නිල නිවාස පරාජිත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනකුටද ලබාදී ඇති බව තොරතුරු දැන ගනීමට ඇතැයි එම නිලධාරියා ප්‍රකාශ කළේය.

මාදිවෙල මන්ත්‍රී නිල නිවාසයක් වෙනුවෙන් මාසිකව අය කෙරෙන්නේ රුපියල් දහසක පමණ අවම ගාස්තුවකි. මේ හේතුවෙන් කොළඹ සහ ඒ අවට නිවෙස් ඇති මන්ත්‍රීවරුන් බොහෝ දෙනකුද මෙම නිවාස ලබාගෙන මෙලෙස ඥාතීන්ට හිතවතුන්ට හෝ වෙනත් අයට ලබාදීම පුරුද්දක් කරගෙන සිටින බව කියති.

මේ අතර "සමිට්" නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාගෙන මාදිවෙල මන්ත්‍රී නිල නිවාසද පාවිච්චි කරන ඇමැතිවරුන් හා රාජ්‍ය ඇමැතිවරුන් කිහිපදෙනෙකු සිටින බවට තොරතුරු හෙළිවී ඇත. මේ අනුව එම සමිට් නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාගෙන ඇති ඇමැතිවරුන්ගේ ලැයිස්තුවක් වහාම එවන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට දැනුම්දී ඇති බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.