(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්ව විද්‍යාලවලට, නීති විද්‍යාලයට ඇතුළත්වීමට අවස්ථාව උදාකර දෙන්නැයි  ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන  සංවිධායකවරයාගෙන් තමා ඉල්ලීමක් කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී (1) පැවැසීය

මේ අතර වෛද්‍ය පීඨවලට  මෙවර ශිෂ්‍ය ශිෂ්‍යාවන් බඳවාගෙන ඇත්තේ දෙසීයක් අඩුවෙන් හෙයින්  ඒ පිළිබඳව සොයා බලන ලෙසද  කිරිඇල්ල මහතා මෙහිදී   රජයෙන් ඉල්ලීමක් කළේ‍ය.

ඔහු මෙම ඉල්ලීම් කළේ අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ කිහිපයක වැය ශීර්ෂ  පිළිබඳ අයවැය කාරක  සභා අවස්ථාවේ විවාදයේදීය. මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන පසුබිම ගැනද අද කතාබහට ලක්වන බවත්  ඔවුන්ට අධ්‍යාපනය ලබාදීමට  වැඩපිළිවෙළක් ආරම්භ කළ හැකි බවත්  කිරිඇල්ල මහතා කීවේය. මේ පාර්ලිමේන්තුවට එන්නේ  බුද්ධියක් තියෙන හොඳ හැකියාවක් ඇති අය බව

පැවසූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා එසේ නැතිනම් මෙතනට පැමිණිය නොහැකි බවද ප්‍රකාශ කළේය. ඡන්දයක්  දිනන එක  කොච්චර අමාරු  වැඩක්දැයි කිරිඇල්ල මහතා මෙහිදී ප්‍රශ්න කළේය. පාර්ලිමේන්තුවේ වසර පහක් හයක් සිටිද්දී ආභාෂයෙන් ලොකු දැනුමක් ලැබෙන බවත් මන්ත්‍රීවරුන්ට විශ්ව විද්‍යාලවලට,  නීති  විද්‍යාලවලට  ඇතුළත්වීමට අවස්ථාව උදා කළ හැකි බවත් ඔහු පැවසුවේය.

මේ පාර්ලිමේන්තුවේ ඇතැම් මන්ත්‍රීවරුන්ට එක්දාස් නවසිය හැත්තෑ ගණන්වලදී  විභාගයක් නොමැතිව නීති විද්‍යාලයට ඇතුළත්වීමට හැකිවූ බවද  ඒ අවස්ථාව උදා කළේ සෑම් විජේසිංහ හිටපු පාර්ලිමේන්තු මහලේකම්වරයා බවද හෙතෙම සඳහන් කළේය.

ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් මහින්ද රාජපක්ෂ මහතාට  පවා නීති විද්‍යාලයට යෑමට එදා අවස්ථාව උදාවූ බවද විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා කීවේය .