IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


මැතිවරණ නීති හදන මැති සබා කමිටුවට යෝජනා ගලයි

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

මැතිවරණ නීති සකස් කිරීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ රැසක නියෝජිතයන් ඉදිරිපත් කළ යෝජනාවලටමැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ ඉහළ අවධානය යොමුවිය.

මැතිවරණ නීති සකස් කළ යුතු ආකාරය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ රැසක නායකයෝ මැතිවරණ නීති ප්‍රතිසංස්කරණ සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ ඊයේ (29) සිය යෝජනා ඉදිරිපත් කළහ.

මැතිවරණවලදී කාන්තා නියෝජනය ඉහළ නැංවීම සඳහා නීතියෙන්ම කටයුතු කළ යුතු බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය එම කමිටුවට දැනුම් දුන්නාය.

මනාප ක්‍රමයත් සමඟ කාන්තාවන්ට තරඟ කිරීමට අපහසු බවත් කාන්තාවන් බොහෝ විට දේශපාලනයට පැමිණෙන්නේ සිය පවුල් පසුබිම තුළින් බවත් ඇය එහිදී කීවාය.

එවැනි පසුබිමක් නැති කාන්තාවන්ට පාර්ලිමේන්තුවට පැමිණීම අතිශය අසීරු බවත් සෞඛ්‍යය ඇමතිවරිය කාරක සභාවේදී අවධාරණය කළාය.

සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය කිරීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (29)රැස්විය .

සම්පූර්ණයෙන්ම කේවළ ක්‍රමය යටතේ මැතිවරණ පැවැත්වුවහොත් විශාල අසමතුලිතතාවයක් හටගන්නා බව අමාත්‍ය මහාචාර්‍ය ජී.ඇල් පීරීස් මහතා කාරක සභාවේදී ඊයේ පෙන්වා දුන්නේය.

මෙහිදී අදහස් දැක්වූ සමගි ජනබලවේගයේ පාර්ලිමේන් බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසූයේ එකම දිනයක ජනාධිපතිවරණය සහ මහමැතිවරණය පැවැත්වීමට කටයුතු කළ යුතු බවයි.

මේ අතර පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ 06 නියෝජිතයෝ මැතිවරණ නීති ප්‍රතිසංස්කරණ විශේෂ කාරක සභාව හමුවේ ඊයේ කරුණු ඉදිරිපත් කළහ.

මෙහිදී අදහස් දැක් වූ ලිබරල් පක්ෂයේ මහලේකම් කමල් නිශ්ශංක මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාව සඳහා නවසීලන්තයේ පවතින මැතිවරණ ක්‍රමය භාවිත කිරීම යෝග්‍ය බවයි.

තම පක්ෂය දිස්ත්‍රික් අනුපාත ක්‍රමයට විරුද්ධ බව පැවසූ හෙතෙම ජාතික ලැයිස්තු ක්‍රමය එලෙසම පවත්වා ගත යුතු බවද ප්‍රකාශ කළේ‍ය

පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරයන් 225 දෙනා තෝරා ගැනීමේදී 160 දෙනෙකු ජන්දයෙන්ද 65 දෙනෙකු ජාතික ලැයිස්තුවෙන්ද පත් කළ යුතු බවට කමල් නිශ්ශංක මහතා එහිදී යෝජනා කළේය.

අකිල ඉලංගෙයි ද්‍රවිඩ මහ සභාවේ සභාපති කේ.විග්නේෂ්වරන් මහතා කාරක සභාව හමුවේ කරුණු දක්වමින් පැවසුවේ තිස්වසරක් පුරා රටේ පැවැති යුද්ධය හේතුවෙන් විදෙස් ගතවූ ලක්ෂ දහයකට වැඩි ජනතාවට ජන්දය ලබා දීම සඳහා අවස්ථාව සැළසිය යුතු බවයි.

ඒ සඳහා නව නීති හඳුන්වා දිය යුතු බවත් එය කාලීන අවශ්‍යතාවක් බවත් ඔහු පෙන්වා දුන්නේය.

කාන්තා නියෝජනය සියයට 30 කින් ඉහළ නැංවිය යුතු බවට තෙමල සමාජ ප්‍රජාතන්ත්‍ර පක්ෂයේ නියෝජිතයා කාරක සභාවේදී කරුණූ දක්වමින් කීවේය.

එය පාර්ලිමේන්තුව, පළාත් සභා සහ පළාත් පාලන ආයතනවලටද අදාළ විය බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය .

පවතින සමානුපාතික ක්‍රමය කිසිදු වෙනසකින් තොරව අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුතු බව සමත්තුවකච්චි පක්ෂය කාරක සභාවේදී අවධාරණය කළේය.

එම ක්‍රමය යටතේ සියලු ජාතින්ට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට අවස්ථාව හිමිවන බවත්, ප්‍රජාතන්ත්‍රවාදයට එය ඉතා වැදගත් සාධකයක් බවත් එම පක්ෂයේ නියෝජිතයෝ පෙන්වා දුන්හ .

පළාත් සභා වල කාන්තා නියෝජනය සියයට 25 ක් දක්වා ඉහළ නැංවිය යුතු බවටද විදෙස් ගතව සිටින සහ අවතැන්ව සිටින පාර්ශ්වයන්හි ජන්ද අයිතිය සුරැකිය යුතු බවටද එම පක්ෂය වැඩිදුරටත් යෝජනා කළේය.

මැතිවරණ නියම වේලාවට පැවැත්වීමට අවශ්‍ය නීති කඩිනමින් සම්පාදනය විය යුතු බව එක්සත් සාම සන්ධානය කාරක සභාවේදී කීවේය.

අපේක්ෂකයන් සිය වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රමාද නොවී මැතිවරණ කොමිෂන් සභාවට ලබා දීමට ක්‍රමවේදයක් සැකසීමේ අවශ්‍යතාවද එම සන්ධානය කාරක සභාවේ දී පෙන්වා දුන්නේය .

දේශපාලන පක්ෂ සන්ධාන ගත වීම වැළැක්විම සඳහා නිසි ප්‍රතිපත්තියක් සැකසිය යුතු බව සිංහලදීප ජාතික පෙරමුණ පැවසීය

මැතිවරණ ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව වෙනත් පක්ෂවලට සහය දක්වන මන්ත්‍රීවරයන්ගේ මන්ත්‍රීධූරය අහෝසි කිරීම සඳහාද නව නීති සම්පාදනයේදී අවධානය යොමු කළ යුතු බව එම පෙරමුණ කාරක සභාවේදී වැඩිදුරටත් කීවේය.

ලබන මාසයේදී දින හතරක් මෙම කාරක සභාව රැස්වන බව එහි ලේකම්, පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් කුෂාණී රෝහණදීර මහත්මිය සඳහන් කළාය.

මෙම කාරක සභා රැස්වීමට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනෝ ගනේෂන්,මධුර විතානගේ, සාගර කාරියවසම් යන මහත්වරුන් , මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය, මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් , නිතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඇතුළු පිරිසක්ද සහභාගි වූහ .

 



අදහස් (1)

මැතිවරණ නීති හදන මැති සබා කමිටුවට යෝජනා ගලයි

ප්‍රභාත් විජේසිංහ Friday, 30 July 2021 02:43 PM

ඡන්දය ලකුණු කිරිමේදී තමා කැමති පක්ෂයට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසු මනාප ලකුණු කිරීමේදි කැමැත්ත මෙන්ම අකමැත්ත ප්‍රකාශ කිරීමට සැලසීම. මෙහිදී ✔ ලකුණෙන් කැමැත්ත සහ කතිර ලකුණෙන් අකමැත්ත ප්‍රකාශ වේ. ඡන්දය ගණන් කිරීම අවසාන ජනතාවගේ කැමැත්ත පරිදි පක්ෂයට ජය හිමි වන අතර ජනතා නියෝජිතයින් තෝරා ගැනීමේදි වැඩිම ජනතා කැමැත්ත ඇති අපේක්ෂකයින් තෝරා ඔවුන්ගෙන් යමෙක් ලැබු ජනතා කැමැත්ත අභිබවා ජනතා ප්‍රතික්ෂේප වී ඇත්නම් ඔවුන් ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ නුසුදුස්සකු ලෙස සැලකිය යුතුයි. එවිට යම් හෙයකින් ජනතා නියෝජිතයන් තෝරා ගැනීමේ ගැටලුවක් වී නම් එහිදී නියෝජිතයන් තෝරා ගැනීම වෙනුවෙන් අතුරු මැතිවරණයක් පැවැත්විය යුතු අතර එවිට සුදුසුකම් ඇති අය ඉදිරිපත් කිරීමට සෑම පක්ෂයකටම සිදුවේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 165 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 370 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 159 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site