(විනීතා එම් ගමගේ)

දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය ආරක්ෂක හමුදාවට බඳවා ගැනීම් පටිපාටියෙන් බැහැරව කාන්තාවන් 22 දෙනෙකු බඳවා ගෙන ඇති බැවින් මේ සම්බන්ධව පියවර ගන්නැයි පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවට අද (13) පැමිණිලි කළේය.
 
මැතිවරණය ප්‍රකාශයට පත් කර තිබිය දී ඉකුත් ජුනි 15 වැනිදා මෙම පත්වීම් ලබා දී ඇති අතර මේ වනවිට ඔවුන් පුහුණුවට යොදවා ඇතැයි පැෆරල් සංවිධානය වෙත ලැබුණු පැමිණිල්ලක් පිළිබඳ කළ සොයා බැලීමක දී අනාවරණය වූ බව එහි විදායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාදීපයට පැවැසීය.
 
එකී පත්වීම් දෙපාර්තමේන්තු බඳවාගැනීම් පටිපාටියට  බැහැරව යමින් රාජ්‍ය සේවා කොමිෂන් සභාව ද නොමග යවමින් සිදුකර ඇතැයි ඒ පිළිබඳ කළ විමර්ශනවල දී හෙලිවී යැයි ද ඔහු කියා සිටියේය.
 
එපමණක් නොව බඳවා ගැනීම් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් ද නොසලකා හරිමින් සිදුකර ඇතැයි වාර්තා වූ බව හෙතෙම කියා සිටියේය.
 
මෙය මැතිවරණ නීති බරපතල ලෙස උල්ලංඝණය කිරීමක් බවත් එකී පැමිණිල්ල සනාථ කෙරෙන අන්දමේ ලිපි ලේඛන ද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති වරයා වෙත පැමිණිල්ල සමග ඉදිරිපත් කළ බව හෙට්ටිඅරච්චි මහතා කියා සිටියේය.