(නිමල කොඩිතුවක්කු)
 
බස්රථ මංතීරුවේ  ත්‍රිරෝද රථ සහ යතුරුපැදි  ගමන් කළ යුතු බවට පොලීසිය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කොළඹදී අද(15) පැවසීය.
 
මෙම තීරණය හකුළා ගැනීමට පොලීසිය කටයුතු නොකළහොත් සියලුම පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බවද විජේරත්න මහතා සඳහන් කළේය.
 
බස් රථ මංතීරුව ගැසට් කර තිබියදී එහි ත්‍රිරෝද රථ සහ යතුරුපැදි ගමන් කිරීම නීතිවිරෝධී බවත්, රටේ පවතින නීතිරීතී පොලීසිය විසින් ම කඩකිරීමට එරෙහිව ඉදිරියේදි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය නුගේගොඩදී  කැඳ වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසීය.
 
ත්‍රිරෝද රථයක උපරිම වේගය පැයට කිලෝමිටර් 40ක්ව තිබියදී මගීන් 60ක් 70ක් ගෙනයන බස්රථයක් එය පිටුපසින් ධාවනය  කිරීම බරපතල ගැටලුවක් වී ඇතැයිද  ඒ මහතා කීය.
 
මෙම මංතීරු නීතිය හේතුවෙන් යතුරු පැදිකරුවන් අනතුරට ලක්වීමේ අවදානමක් තිබෙන බවත් යම් අනතුරක් සිදුවුවහොත් එහි වගකීම පොලීසිය භාර ගන්නේදැයි තමන් ප්‍රශ්න කර සිටින බවද විජේරත්න මහතා පැවසීය.මං තීරු දෙකක් පමණක් ඇති ඇතැම් මාර්ගවල මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීම කිසිසේත්ම ප්‍රයෝගික නොවන බවද ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා කියා සිටියේය.
 
මංතීරු නීතියේ පවතින ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට පොලීසිය, ප්‍රවාහන සංගම්  ඇතුලු සියලුම පිරිස සාකච්ඡාවක් සඳහා කැඳවන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් විජේරත්න මහතා වැඩිදුරටත් කීය.