(සුජිත් හේවාජූලිගේ සහ අංජුල මහික වීරරත්න)

වැසිකිළි අපද්‍රව්‍ය ප්‍රවාහනය කරන කහ පැහැති බවුසර් තුනකින් ගෙන ආ කිසියම් අපද්‍රව්‍යක් දියවන්නා ඔයට දමනු තමා  දුටු බව බදුල්ල  දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා (ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී අද (09) පැවසීය.

මේ සිද්ධිය වූයේ පාර්ලිමේන්තු රැස්වීම නොපැවැත්වුණු දිනයක බවත් තමා බොරුවක් කියන බව සිතන්නේ නම් ඒ දිනට අදාළ සී.සී.ටීවි කැමරා දර්ශන පරීක්ෂා කරන්නැයි ඉල්ලා සිටියේය.

විජේසිරි මහතා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.

එම මළ ප්‍රවාහන බවුසර් නතර කර තිබුණේ ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් වාහන නතර කරන ස්ථානය අසල යැයිද චමින්ද විජේසිරි මහතා පැවසුවේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

දියවන්න ඔයේ පරිසර දූෂණය ගැන මම මේ සභාවේදී පසුගිය 24වැනිදා කතා කළා. ඒ දූෂණය වෙලා තියෙන්නේ පාර්ලිමේන්තු පොකුණ ශුද්ධ කරල දැමූ අපද්‍රව්‍ය නිසා කියල ඒ වෙලාවේ කතානායක තුමා ප්‍රකාශ කළා. දියවන්න ඔයේ පාට අදත් වෙනස් වෙලා. මේ දූෂණය වෙන්නෙ මළ අපද්‍රව්‍ය හෙලන නිසයි.මේක විශාල පරිසර විනාශයක්. මෙම දූෂණය ගැන තවම පරීක්ෂණයක් කරලා නෑ.

කතානායක මහින්දයාපා අබේවර්ධන මහතා

වාර්ථාව ලැබි තියෙන්නෙ. දියවන්නා ඔයේ පාට වෙනස් වෙන්නේ කොහෙන් හරි අපද්‍රව්‍ය එකතු වෙන නිසා කියලා ඒ වාර්තාවේ තියනවා. නමුත් අපද්‍රව්‍ය එකතු වෙන්නෙ කොහෙන්ද කියල සොයාගෙන නැහැ.