(තුසිත කුමාර ද සිල්වා)

බේරුවල ප්‍රාදේශීය සභාවේ සභාපති මේනක විමලරත්න මහතාට පහරදුන් බව කියන සිද්ධියට සම්බන්ධ බව කියන සේවකයන් සිව්දෙනා අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලීසිය අද(22) පෙරවරුවේ පවසයි.

පොදුජන පෙරමුණේ පාලන බලය හිමි බේරුවල ප්‍රාදේශීය සභාවේ සභාපති මේනක විමලරත්න මහතා ඇතුළු මන්ත්‍රී කණ්ඩායමක් 21 දින පැවති මාසික සභා රැස්වීමෙන් අනතුරුව අලුත්ගම ගඟබඩ පාරේ අවන්හලක් වෙත ගොස් සිටියදී දිවා ආහාර ලබා ගැනීමට පැමිණ සිටි බව කියන මෙම සේවක සිව්දෙනා සහ සභාපතිවරයා අතර ඇතිවු කථාබහක් දුරදිග ගොස් සභාපතිවරයාට පහරදීමක් සිදු කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අලූත්ගම පොලිසිය විමර්ශන සිදුකර සේවකයින් සිව් දෙනා පයාගල පොලිස් බල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කියයි .

අත්අඩංගුවට ගත්සේවකයින් සිව්දෙනාගෙන් තිදෙනකුට පොලිස් ස්ථානය මගින් ඇප ලබාදී ඇති අතර එක් සේවකයකු පමණක් කළුතර අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව අලුත්ගම පොලිසිය සඳහන් කළහ .

පහරකෑමට ලක්වූ සභාපතිවරයාගේ තත්ත්වය බරපතළ නොවන බව විමර්ශන සිදුකරන පොලිසිය කියයි.

කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් වන කපිල ප්‍රේමදාස , නිශාන් ද සිල්වා යන මහත්වරුන් ගේ උපදෙස් මත අලුත්ගම පොලිස් ස්ථානයේ වැඩ බලන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුදත් සුදුසිංහ , උප පොලිස් පරීක්ෂක රාජිත ගුරුසිංහ යන මහත්වරු ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරයි .