(සුජිත් හේවාජුලිගේ  සහ  අංජුල මහික වීරරත්න)

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා කෘෂිකර්ම අමාත්‍යාංශය හා ඒ යටතේ ඇති ආයතනවල  දරන තනතුරු සියල්ලෙන් ඉවත්  කරන ලෙස  කෘෂිකර්ම  අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් උදිත කේ ජයසිංහ මහතාට අද (26) උපදෙස් දී ඇත.

මේ අනුව  මාරඹේ මහතා ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ සාමාජික ධුරයෙන්ද, කෘෂි නව්‍යකරණ ව්‍යාපෘතියේ මෙහෙයුම් කමිටුවේ සාමාජික ධුරයෙන් හා කුඩා ව්‍යාපාර කෘෂි සහභාගීත්ව වැඩසටහනේ උපදේශක ධුරයෙන්ද  වහාම ක්‍රියාත්මක වන පරිදි  ඉවත් කිරීමට  කටයුතු කෙරෙනු ඇත.

මේ අතර වත්මන් රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් මත ක්‍රියාත්මක කරන පරිසර හිතකාමී කෘෂිකර්මාන්තය විවේචනය කරමින්, ඊට එරෙහිව විශ්ව විද්‍යාල ප්‍රජාව,  ප්‍රජා සංවිධාන හා සාමාන්‍ය ජනතාව පෙළ ගැස්වෙන ආකාරයේ ප්‍රකාශන සිදු කිරීම සම්බන්ධයෙන්ද මාරඹේ මහතාට එරෙහිව චෝදනා එල්ල වී  ඇතැයි  එම අමාත්‍යංශය සඳහන් කරයි.

මීට අමතරව ඔහු  රාජ්‍ය අමාත්‍යාංශ කිහිපයක විවිධ තනතුරු දරමින්  රජයේ ප්‍රතිපත්ති විවේචනය කිරීම සම්බන්ධයෙන්ද රජයේ අවධානය යොමුවී ඇත.