(සුජිත් හේවාජුලිගේ)

ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාවේ කල්තබන අවස්ථාවේ විවාදය පාර්ලිමේන්තුවේදී ඊයේත් පැවැත්විණ.

විවාදයට එක්වූ ජාතික ජන බලවේගය පක්ෂයේ විජිත හේරත් මන්ත්‍රීවරයා පැවසූ රස මුසු කතාවකට විපක්ෂයේ මන්ත්‍රීවරුන් මෙන්ම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ද සිනාසුණේ බඩවල් අල්ලාගෙනය.

" දැන් බලන්න මේ ආණ්ඩුව රට ගෙනිච්ච තැන. මිනිස්සුන්ට කන්න හාල් ටිකක් නැහැ. මේ නිසා ආණ්ඩුවට අද හාල් චීනෙන් ගේන්න සිද්ධවෙලා. මෙහෙම ගියොත් නම් වැඩි කල් යන්නටත් පෙර මිනිස්සු කියාවි, මේ රටේ බත් දුන් පියා ෂීජින් පියා කියලා..." විජිත කීවේ උපහාසාත්මක ලෙස සිනාසෙමිනි.

මේ අවස්ථාවේදී කාංචන විජේසේකර රාජ්‍ය අමාත්‍යවරයා විජිත හේරත් මන්ත්‍රීවරයාට බාධා කරමින් රටේ ආර්ථික තත්ත්වය ගැන කිසියම් විවරණයක් කිරීමට උත්සාහ දැරුවේය. කාංචනගේ ඒ උත්සාහය අවසානයේදී කට හඬ අවදි කළ විජිත හේරත් " ඕවා හොඳයි කොන්ඩේ බැඳපු චීන්නුන්ට කියන්න." යැයි පැවසූවේ මහ සද්දෙනි.

කාංචන ඉන් එහාට නම් කතා කිරීමට ගියේ නැත.