(ඩයනා උදයංගනී)

දිවයිනේ පළාත් හතරකට හෙට (21) සහ අනිද්දා (22) දිනවල තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව උතුර, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (20) වැසි වාර කිහිපයක් ඇතිවන බව ද එම ප්‍රකාශකයා කීවේය.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ද සවස 2.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව ඔහු පැවසීය.

ඌව, නැගෙනහිර පළාත්වලත් මුලතිව් සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර 50 ට වැඩි තරමක තද වැසි ඇතිවන බවද ඔහු කීවේය.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල තාවකාලික තද සුළං හා අකුණු අනතුරු ද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියා කරන්නැයි එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.