(ආනන්ද ඉ ජයකොඩි)

වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලීය ජාතික පාසලේ 13 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවකුට එම පාසල තුලදී   ඉතා අමානුෂික ලෙස  එස්ලෝන් බටයකින්  පහරදී තුවාල සිදු කොට සැඟව ඇතැයි වේයන්ගොඩ පොලීසිය පවසයි.

පහර කෑමෙන් තුවාල සිදු වී ඇති දරුවා වතුපිටිවල මූලික රෝහලට ඇතුළත්කර සිටින බවද පොලීසිය කීය. එසේ රෝහල් ගත කොට ඇත්තේ එම පාසලේ 13 වසර ඉගෙනුම ලබන වේයන්ගොඩ ප්‍රදේශයේම පදිංචි දරුවෙකි.

එම දරුවා ඉකුත් 10 වැනිදා අධ්‍යාපන කටයුතුවලට සහභාගී නොවූ බව කියමින් සැකකාර ගුරුවරයකු ඉතා අමානුෂික ලෙස එස්ලෝන් බටයකින් පහරදී තුවාල සිදු කොට ඇති බව මූලික පරීක්ෂණ වලදී හෙළි වී ඇති බව වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න වෑත්තෑව මහතා පැවසීය.

නිට්ටඹුව හුඹුටියාව ප්‍රදේශයේ පදිංචි එම සැකකාර ගුරුවරයා මේ වන විට පදිංචි නිවසින් පැන ගොස් ඇති බවද පොලිස් ස්ථානාධිපතිවරයා කීය.