
(රේඛා තරංගනී ෆොන්සේකා)
බෙල්ලන්විල, පිල්ලෑව, කැලණිය, කතරගම, නවගමුව දේවාල වැනි ලංකාව පුරා ඇති විශේෂිත පූජා නගර ආශ්‍රිතව සිදු කෙරෙන පොලිතීන් මල් මාලා නිෂ්පාදනය තහනම් කිරිමට පියවර ගන්නා බව මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතා පැවසීය.
එම පොලිතීන් මල් මාලා භාවිතයෙන් ඉවත් කිරීමේ මුල් පියවර ලෙසත් ඒ සඳහා ආදේශකයක් ලෙස පරිසර හිතකාමී මල් මාලා සහ තෙල් කඩදාසි වලින් නිමවන මල් මාලා හඳුන්වාදීමටත් මාර්තු මස 22 දා සිට පියවර ගනු ලබන බව ඔහු කීවේය.
ඔහු මේ බව පැවසුවේ අද (4) බත්තරමුල්ල පිහිටි ඒ මහතාගේ කාර්යාලයේ දීය.
බෙල්ලන්විල,කැළණිය,කතරගම,රත්නපුර සමන් දේවාලය වැනි විශේෂිත පූජා භූමි ආශ්‍රිතව මෙන්ම කුඩා දේවාල වලින් දිනපතා ඉවතලන ප්ලෘස්ටික් මල්මාල වාර්ෂිකව විශාල පරිසර හානියකට මග පාදමින් ගංගා ආශ්‍රිත කලාපවල විශාල ගැටලු ඇති කර ඇති බවද ඒ මහතා පැවසීය.
මධ්‍යම පරිසර අධිකාරියේ, ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ ආරාධනයෙන් ජාතික ශිල්ප සභාව හා එක්ව විශේෂිතව හඳුනාගත් ප්‍රදේශයන් හී තෙල් කඩදාසි මල්මාලා සැකසීම පිළිබඳ මල්කරුවන් දැනුවත් කිරීමේ වැඩමුලු සංවිධානය කර එකී පුහුණුව ලබා දීමට පියවර ගෙන ඇති බවද ඔහු පැවසීය.
පරිසර ආරක්ෂණ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක් ලෙස ක්‍රියාවට නැංවෙන පොලිතීන් භාවිතය අවම කිරීමේ ව්‍යාපෘති වල තවත් එක් අංගයක් ලෙස පොලිතීන් මල්මාලා භාවිතයෙන් ඉවත් කෙරෙන බව ඒ මහතා පැවසීය.

COMMENTS
මල් මාලා නෙමෙයි, පුලුවන් නම් මිනිස්සුගේ ඔලු කන ඔය දේවාල ටික තහනම් කරන්න..
දෙවියෝ තරහවෙලා... සුනාමි, සුළිසුළං ඒවයි.
කරුණාකරලා මේ දේවාල ටික අයින් කරනකම් ලංකාවට වගතුවක් වෙන්නේ නැහැ.
ඔයිට වඩා මේ රටේ කරන්න දේවල් නැතිද?