(බිඟුන් මේනක ගමගේ) 

දේශපාලන පලිගැනීම්වලට සාධාරණය ඉටුකිරීමේ මුවාවෙන් අධ්‍යාපන පරිපාලන සේවයේ හා විදුහල්පති සේවය ඇතුලු සේවාවල නිලධාරින් පිරිසකට වැටුප් වර්ධක ලබාදීමට රජය තීරණය කර ඇතැයි ද එය වහා අත්හිටුවා ඔවුන්ට සාධාරණ වන්දි මුදලක් පමණක් ලබාදෙන්නැයි ඉල්ලා සිටින්නේ යැයි ද සඳහන් කරමින් ලංකා ගුරු සේවා සංගමය ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර ඇත.

දේශපාලන පලිගැනීම් සම්බන්ධයෙන් සෙවීමට ජනපති පත්කළ සත් පුද්ගල කමිටුව මගින් කළ නිර්දේශයක් මගින් රජය මෙම තීරණය කර ඇතැයි ද වැටුප් වර්ධකයක් යනු රාජ්‍ය සේවකයන් විසින් උපයා ගත යුත්තක් බව ආයතන සංග්‍රහයේ පැහැදිලිව සඳහන් කර තිබියදී මෙවැනි තීන්දුවක් ගැනීමෙන් රාජ්‍ය සේවය බරපතල ලෙස හෑල්ලුවට ලක්වන්නේ යැයි ද එම සංගමය සිය ලිපිය මගින් පවසා සිටී.

එනිසා මෙම කමිටු නිර්දේශය වහා හකුලාගෙන ඒ වෙනුවට පලිගැනීම්වල ස්වභාවය අනුව වන්දි මුදලක් ප්‍රදානය කරන ලෙස ඉල්ලා සිටින්නේ යැයි ද ලංකා ගුරු සේවා සංගමය අවධාරණය කරයි.

මෙම තීන්දුවෙහි වෙනසක් නොකරන්නේ නම් ඊට එරෙහිව නීත්‍යනුකූලව ක්‍රියාමාර්ග ගන්නේ යැයි ද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

එම ලිපියේ පිටපත් රාජ්‍ය සේවා කොමිසමට හා අධ්‍යාපන ඇමැතිවරයාට ද යොමු කර ඇත.