(ජයන්ත සමරකෝන්)

වැලිකඩ බන්ධනාගාරයේ මරණ දඬුවම නියම වී සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වන ප්‍රේමලාල් ජයසේකර හෙවත් 'චොකා මල්ලී'  අගෝස්තු 20 වනදා පැවැත්වෙන පාර්ලිමේන්තුවේ මංගල සභා රැස්වීමට සහභාගී වීම සඳහා බන්ධනාගාර අධිකාරියෙන් අවසර ඉල්ලා ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.

මෙම ඉල්ලීම බන්ධනාගාර මූලස්ථානය වෙතින් අධිකරණ අමාත්‍යංශය වෙත යොමුකර ඇති අතර, අමාත්‍යංශයෙන් ලැබෙන අනුමැතියට අනුව ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු යාමට වරම් ලැබෙනු ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.

මේ වනවිට වැලිකඩ බන්ධනාගාරයේ 'වයිඕ' ශාලාවේ දැඩි ආරක්ෂාව සහිත ස්ථානයක ඔහු රඳවා සිටී.

සිය දඬුවමට එරෙහිව ඔහු දැනට අභියාචනාවක් ඉදිරිපත් කිරීම නිසා රිමාන්ඩ් සැකකරුවකු ලෙස සැලකෙන බවත්, ඔහු රිමාන්ඩ් සිර මැදිරියක රඳවා තැබිය යුතු බවත් පැවසේ.

එහෙත්, ආරක්ෂාව ගැන සලකා ඔහු තවදුරටත් 'වයිඕ' ශාලාවේ විශේෂ ස්ථානයක රඳවා සිටින බවද වාර්තා වේ.

පසුගියදා පැවති මහ මැතිවරණයෙන් මොහු රත්නපුර දිස්ත්‍රික්කයෙන් මනාප 142,037ක් ලබා එහි දෙවන ස්ථානයට තේරී පත්ව සිටී.