(කුෂාන් ජයවර්ධන)
හක්කපටස් ආහාරයට ගැනීමෙන් රෝගීව සිටින වනඅලියෙකු කැටුව පැමිණි තවත් වන අලියෙකු විහාරස්ථානයක බෝධීන් වහන්සේ වටා පැදකුණු කර ගාන්ඨාරය ද තෙවරක් නාද කර විහාරය භූමියේ පිහිටි දේවාලය දෙස නිසොල්මන්ව බලා සිට යළි කැලයට පිටත්ව ගිය දුර්ලභ සිද්ධියක් කැකිරාව ප‍්‍රදේශයෙන් වාර්තා වේ.
කැකිරාව ඇලගමුව බරාවිල සුදර්ශනාරාම රජ මහ විහාරස්ථානයේදී එම සිද්ධිය සිදුව තිබේ. එම සිද්ධිය විස්තර කළ කැකිරාව බරාවිල සුදර්ශනාරාම රාජ මහාවිහාරාධිකාරී පූජ්‍ය තම්මැන්නාගම බුද්ධරක්ඛිත හිමියෝ මෙසේ පැවැසූහ.
‘‘පන්සලේ බෝධිය පැත්තෙන් සද්දයක් ඇහුනා. මම විදුලි පන්දමත් අරගෙන එළියට බැහැලා බැලුවා කවුද මේ රෑ පන්සලේ වත්තේ සැරිසරන්නේ කියලා මම ඒ වෙලාවේ දැක දේ පුදුම සහගතයි.
පන්සල් වත්තට අලි දෙන්නෙක් ඇවිත් හිටියා එක අලියෙක් ටිකක් පොඩි එක්කෙනෙක්. අනික් එක්කෙනා නම් ටිකක් ලොකු කෙනෙක්. මේ දෙන්නා පන්සලේ බෝ මළුව පැතේ ඉදලා පඩි පෙළ බැහැගෙන පන්සල් වත්තේ තියෙන දේවාලය පැත්තට යනවා.
පස්සේ දේවාලය ඉදිරිපිට තියෙන ගණ්ඨාර කුළුන ළගට ගියා. පස්සේ ලොකු අලියා ගණ්ඨාරයේ ලණුව අල්ලගෙන තුන්පාරක් ගණ්ඨාරය ගැහැව්වා. ඊට පස්සේ ගණ්ඨාරයේ ලණුව කඩලා කුළුණ මුල බිම දාලා එතැනම තියෙන දේවාලය ඉදිරිපිටට වී නිසොල්මංව ටික වේලාවක් දේවාලය දෙස බලා ගෙන හිටියා.
මේ දේවාලය බොහොම හාස්කම් තියෙන දේවාලයක්. ඊට පස්සේ ඒ දෙන්නා පන්සල් වත්තේ කැලේ පැත්තට යන්න ගියා. ඒ වෙලාවේ මම උගුර පාදලා මොකද මේ රෑ ඇවිද ඇවිද කරන්නේ කරන්නේ කියලා අලින්ට කරුණාවෙන් කතා කළා.
ඊට පස්සේ ඒ දෙන්න කැලේ ඇතුලටම යන්න ගියා. පස්සේ මම බෝමළුව දෙසට ඇවිත් බැලුවම දැක්කා ඒ අලි දෙන්න බෝ මළුවට මුලින්ම ඇවිත් තියෙන බව. ඒ අලි දෙන්නා බෝමළුව වටේ ඇවිදලා තිබුණා. හැබැයි බෝධින් වහන්සේටවත් ඒ අසළ වෙන යමකට හෝ කිසිම හානියක් කරලා තිබුනේ නැහැ.
මේ ආව අලි දෙන්නගෙන් පොඩි අලියා හක්කපටස් කාලා තුවාල වෙලා ඉන්න අලියෙක් බව දැනුණා. ඒ සතා ට ඇවිද ගැනීමේ අපහසුතාවකුත් තියෙනවා. ඒ ගැන ගමේ අයත් කළින් දා මට මේ අලි දෙන්නා ගැන කියලා තිබුණා.
රෝගාතුව ඉන්න පොඩි අලියගේ ආරක්ෂාවට වගේම එයාගේ උදව්වට ලොකු එක්කෙනා නිතරම එයා ළ`ග ඉන්නවා. මේ අලි දෙන්නා දැන් දවස් ගණනක් පන්සල් වත්ත පිහිටි ගල් කන්දේ සැරිසරනවා.
තිරිසන් ආත්මයක් ලබා සිටියත් බුදු දහමත් එක්ක සම්බන්ධකම් පවත්වන තමන්ට පාපතර මිනිසකු නිසා අත්ව ඇති ඉරණම හා තමන්ට ඇති වී තිබෙන වේදනාව ගැන දෙවියන්ට කියන්න මේ අලි පන්සලටත් එන්න ඇති කියලා හිතෙනවා.
මේ සිද්ධිය දැකලා මට පුදුම හිතුණා මම ඒ වෙලාවෙම ගල්කිරියාගම වනජීවි කාර්යායේ නිලධාරීන්ට මේ රෝගාතුරව ඉන්න වනඅලියා ගැන විස්තර කිව්වා.
පූජ්‍ය තම්මැන්නාගම බුද්ධරක්ඛිත හිමියන්ගේ දැනුම් දීම මත ගල්කිරියාගම වනජීවි කාර්යාලයේ නිලධාරීන් අද (3) වල් අලින් දෙදෙනා සොයා මෙහෙයුම් ඇරඹීය.එම ගම්වාසීහු ද එම මෙහෙයුමට සහය වූහ.
විහාරස්ථානයට ආසන්නයේ ඇති අඩි 300ක් පමණ උස්වූ ගල් කන්දක් මුදුනේ රැඳී සිටි වනඅලින් දෙදෙනා වනජීවී නිලධාරීන්ට හමුව තිබේ.
රෝගී අලියා සමීපයට ගොස් නිරීක්ෂණය කිරීමට යාමේදී අනෙක් වන අලියාගෙන් බාධා එල්ල කළ බව නිලධාරීහු පවසති.
හක්කපටස් ආහාරයට ගැනීමෙන් අනතුරට ලක්ව රෝගාතුරව තවත් අලියෙකුගෙන් රැකවරණය ලබමින් සිටින වනඅලියාට අවශ්‍ය පශු වෛද්‍ය ප‍්‍රතිකාර කටයුතු කඩිනමින් ඇරඹීමට කටයුතු යොදා ඇති බව ගල්කිරියාගම වනසත්ව අඩවි කාර්යාලයේ නිලධාරීහු පැවැසූහ.





COMMENTS
දැන් පන්සල කිට්ටුවෙන් කඩයක් දාගත්තනං හරි.
ඔය මදි අපේ හාමුදුරුවනෙ තව ටිකක් අතින් දාල සුරංගනා කතාවක් වගේ කියමු.
හාමුදුරුවන්ගේ කතාව ඇත්තයි. සත්තුන්ට මිනිසුන්ට වඩා ආදරය කරුනාව තියෙනවා. සත්තු කියන්නෙ අපි වගේම අපි ජීවත් වෙන ඔක්සිජ්න් වලින් ජීවත් වෙන කොටසක්. අපිට පිහිටවෙන දෙවියන්, බුදුහාමුදුරුවෝ සත්තුන්ටත් පිහිට වෙනවා. මේ ටික නොදන්නා මිනිසුන් උහුලන්න බැරි වද දීලා සත්තුන්ව මරනවා. ඒවගේ විපක තමයි අද ලංකාවට වෙලා තියෙන්නෙ. දවසට මිනිසුන් දහයක් පහලවක් නොයෙකුන් අනතුරු වලට ලක් වී මැරෙනවා. විපාක වත් තෙරුම් අරගෙන සත්තු මැරීම නවතා දමන්න.
හක්ක පටස් හදන අයටම ඒවා කවන්න ඕනේ. සතෙක් ට දෙන වේදනාව තේරෙන්න
අලින්ට මොලේ තියෙනවා
අනේ තිරිසන් මිනිසුනේ...
ඉතාම සංවේදී පුවතක්. මා දන්නා තරමින් හක්ක පටස් නිෂ්පාදනයට යොදා ගන්නේ ගිනිකෙළි සඳහා යොදාගනු ලබන එක්තරා ද්‍රව්‍යකිනි (නම සඳහන් නොකර සිටිමි). අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩයක් නොවන මේවා නිශ්පාදනය හා අලෙවිය තහනම් කිරීමෙන් හක්ක පටස් නිපදවීම සම්පූර්ණයෙන් නතර කළ හැකිය. අළෙවිය පමණක් නතර කිරීමෙන් පලක් නොවන්නේ නීති විරෝධී බොහෝ දේ නීතියට පිටින් අළෙවි වන නිසාය. හක්ක පටස් තබන අය නීතියේ රැහැනට හසු කර ගැනීමද දුෂ්කර කටයුත්තකි. නමුත් රජයේ ලියාපදිංචි ආයතන වන ගිනිකෙළි කර්මාන්තශාලා මගින් මෙය නතර කල හැකිය. මාගේ මතය නම් මේ සම්බන්ධයෙන් රජය නිහඬව සිටින්නේ වන සතුන් මිය යාම නිසා වනසත්ව මිනිස් ගැටුම් අඩුවීම මත රජයේ වගකීමක් වන වනජීවී කළමනාකරණයෙන් ගැළවීමය. වනසත්ව කළමනාකරණය මස් වැද්දන්ට පැවරීම නිසා වනසත්ව සම්පත නුදුරේදීම අපට අහිමි වනු ඇත.
එක හාස්කමක් නොවේ. සාමාන්‍ය සිද්ධියක් ප්‍රවෘතියක් කරගෙන
" හක්ක පටස් දුන්නත් මිනිසුන් අපට " " එවැනි එවුන් පරදියි තිරිසන් අපට " " විහාරය වැඳන් ඝන්ටා නාද කොට " " අප වැඳී දහම නොපෙනෙයි කිසිවිට තොපට "
අසරණ සත්තු! උන්ගේ වනාන්තර කපලා උන්ට යන එන මන් නැති කරලා ගම් වැදුනම උන්ව මරනවා.
සතුනුත් ඔවුන්ගේ දුක් ගැනවිලි බුදුහිමියන්ට හා දෙවියන්ට කියන්නට ආවේ ඇයිකියලා සතුන්ට වදදෙන මිනිස්සුත් ඔවුන් වෙනුවෙන් පෙනී සිටින්නනුත් තේරුම් ගන්නවා නම් හොඳයි
මේ දේවාලය බොහොම හාස්කම් තියෙන දේවාලයක්... එන්න දැන් පෝලිමට පින්වතුනි,
මට පේන විදිහට මෙතන "ඔයාලා කරන වැඩවල හැටියට පන්සල් වලින් වැඩක් නැහැ" කියලා අලි දෙන්නා පන්සල කඩන්න උත්සාහ කරලා තියන්නේ.
අහිංසක කැලෑසත්තු හිතන්නේ තාම එළාර රජුගේ කාලය කියලා...
මේ පන්සලේ බෝධි මඵව දැක්කම මගේ පුංචිකාලේ මතක් වුණා. අපි ඒ් කාලේ හැම පන්සලකම දැක්කේ මේ වගේ බෝධි මඵ... ඒත් දැන් ... බොධි මඵ කියනවට වැඩිය මාලිගා මඵ කීවොත් හොඳයි... මම මේකෙන් අදහස් කලේ පන්සල සංවර්ධනය කළ යුතු නෑ කියන ඒක නෙවේ... එක තැනක මාලිගා හැදෙන්නත්, මේ තැන් වල මෙහෙමෙ තියෙන්නත් පන්සල් අතර තියන පරතරය නැතිවිය යුතුයි කියන එකයි..
හාස්කම් තියෙනවා කිව්වා එක නම් ඇත්ත ක්ෂණයකින් වනජීවී ක්‍රියාත්මක වෙලා.