
(ඩී.ජී.සුගතපාල)
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ‘පොඩි ලැසි’ නමැත්තාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමටත්, 25 වන දින ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (08) නියෝග කළේය.
ජනාධිපතිවරයාට, ආරක්ෂක ලේකම්වරයාට සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරින් කිහිපදෙනෙකුට ප්‍රසිද්ධියේ මරණ තර්ජන එල්ල කිරීම පිළිබඳව බන්ධනාගාර ගතව සිටින ‘කොස්ගොඩ තාරක’ සහ ‘පොඩිලැසි’ යන දෙදෙනා සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා මෙසේ නියෝග කළේය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලිප පීරිස් මහතා අධිකරණයට කරුණු දක්වමින් කියාසිටියේ බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් කිහිපදෙනෙකු ඔවුන්ට ලැබෙන පහසුකම් ප්‍රමාණවත් නොවන බව පවසා උපවාසයක් ආරම්භ කර තිබු අතර ඒ පිළිබඳ සොයා බැලීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරුන් කිහිපදෙනෙකු ජූනි 26වන දින බූස්ස බන්ධනාගාරයට පැමිණ ඇති බවය.
එහිදි ‘පොඩිලැසි’ නමැත්තා එම නිලධාරින්ටත් බූස්ස බන්ධනාගාර අධිකාරිවරයාටත් ජනාධිපතිවරයාටත් ආරක්ෂක ලේකම්වරයාටත් ඔවුන්ගේ පවුල්වල අයටත් ප්‍රසිද්ධියේ මරණ තර්ජන එල්ල කර ඇති බව කියා සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා, අධිකරණ නියෝග මත රඳවා සිටින පිරිස මැර බලය සහ අවි බලය සමග රජයේ නිලධාරින්ට ප්‍රසිද්ධියේ මරණ තර්ජන එල්ල කිරීම බරපතල කාරණයක් බවත් ඒ පිළිබඳ සාක්කි රැසක් සටහන් කරගෙන ඇති බවත් කියා සිටියේය.
බන්ධනාගාරයට ගෙන එන අවස්ථාවේ බෝම්බ ගසා ප්‍රතිවාදින් ඝාතනය කිරීමට බන්ධනාගාරය තුළ සිට සැලසුම් කර ඇති බවත් ඔවුනට එතරම් ආත්ම ශක්තියක් ලැබුනේ කෙසේදැයි සොයා බැලිය යුතු බවත් සමහර බන්ධනාගාර නිලධාරින් සැකකරුවන් සිටින හිරකුටිවලට වඳිනවා දුටු බවත් තවත් සමහරු හිතෙන් වඳින බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් කරුණු දක්වමින් කියාසිටියේ ධර්මකිර්තිගේ තාරක පෙරේරා විජේසේකර හෙවත් ‘කොස්ගොඩ තාරක’ නමැත්තා ගිනි අවි පරිහරණය කිරීම, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් මේ වනවිට රැඳවුම් නියෝග ලබාගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ සිටින බවද, අරුමා හන්දි ජනිත් මධුසංක හෙවත් ‘පොඩි ලැසි’ නමැත්තා බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින බවත්ය. පොඩි ලැසිගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමටත් ඔහු අධිකරණයට ඉදිරිපත් කිරිමටත් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටි දිලිප පිරිස් මහතා ඔහු අධිකරණයට කැඳවනු ලබන දින අධිකරණය අවට ආරක්ෂාව දැඩි කිරීමටද නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියේය.
ඉදිරියේදි පොඩි ලැසි නමැති සැකකරුට එරෙහිව මහාධිකරණයේ අධි චෝදනා ගොනු කිරීමට බලාපොරොත්තු වන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේය.
ඒ අනුව බූස්ස බන්ධනාගාරයට ගොස් පොඩි ලැසි නමැත්තාගෙන් ප්‍රකාශ ලබා ගැනීමටත් 25වන දින ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමටත් නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එදින ආරක්ෂාව තර කිරීමට පියවර ගන්නා ලෙසත් නියෝග කළේය.
නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශයේ සහකාර පොලිස් අධිකාරි මෙරිල් රංජන් ළමාහේවා මහතා ඇතුලු නිලධාරි කණ්ඩායමක් අධිකරණයට කරුණු වාර්තා කළහ.

COMMENTS
ලැසීලා බුරන්නේ නැතුව වෙන මොනවා කරන්නද මහත්තයෝ? බලු වෑන් එක එව්වා නං ඉවරයි.
ඔහුට දඬුවම් දෙන්න. මාස 9ක් අඳුරු කුටියක තබන්න.