(ප්‍රනීත් සේනානායක)

 


වසර පහකට ඉහතදී (2016 පෙබරවාරි 28 වන දින) රාජගිරියේදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා ඇතුළු දෙදෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුව කොළඹ මහාධිකරණය විසින් මැයි 31 වන දින විභාගයට ගනු ලැබේ. මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ විභාග කෙරේ. 

සාක්ෂි ගොතන ලද සහ සඟවා තැබීමේ චෝදනාව මත, චූදිත හිටපු අමාත්‍ය රණවක මහතාත්, ඔහුගේ රියදුරු තුසිත් දිලුම් කුමාර සහ සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඬල යන දෙදෙනාටත් එරෙහිව නඩු පවරා තිබේ.

ව්‍යාජ සාක්ෂි ගොතන ලදැයිද, සාක්ෂි ගොතන ලද කුමන්ත්‍රණයක් සහ අසත්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීම යන චෝදනා යටතේ චූදිතයන් තිදෙනාට එරෙහිව චෝදනා 16 ක් සම්බන්ධයෙන් නඩු පවරා ඇත.

ප්‍රධාන චෝදනාව වන්නේ අනතුරට හේතුවූ වාහනය පැදවූයේ දිලුම් තුසිත් කුමාර බව පවසමින් ව්‍යාජ සාක්ෂි කුමන්ත්‍රණය කිරීම හා ගොතන ලද සාක්ෂිය. තවත් චෝදනාවක් වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලීි චම්පික මහතා නීතිමය ක්‍රියාමාර්ගවලින් ආරක්ෂා කිරීම සඳහා සාක්ෂි සැඟවීමට කුමන්ත්‍රණය කිරීමයි. 

හිටපු අමාත්‍ය රණවක මහතා නීතිමය ක්‍රියාමාර්ගවලින් ආරක්ෂා කර ගැනීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අසත්‍ය වාර්තාවක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඬල මහතාට චෝදනා එල්ල විය.

මේ අතර, අධිචෝදනා පත්‍රයට එරෙහි මූලික විරෝධතා අප්‍රේල් 27 වනදා විභාගයට ගැනීමට නියමිතය.