(එෆ්.අස්ලම්)
පටු දේශපාලන අරමුණු සපුරාගැනීමේ අරමුණින් විවිධ පාර්ශව විවේචන හා අවලාද සිදුකරන බවත් එවන් පාර්ශවයන් හට පිළිතුරු දීමේ කිසිදු අවශ්‍යතාවක් දෙමළ ජාතික සන්ධානයට නැති බවත් එම සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතා පැවසීය.
දෙමළ ජනතාවගේ ගැටළු විසදීම වෙනුවෙන් ලැබෙන සෑම අවස්ථාවක්ම ප්‍රයෝජනයට ගනිමින් ඕනෑම පාර්ශවයක් සමගින් සාකච්ඡා කිරීමට දෙමළ ජාතික සන්ධානය සූදානම් බවද හෙතෙම සදහන් කලේය
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගියදා කැදවූ පාර්ලිමේන්තු මන්ත්‍රී හමුව සහ ඉන් පසුව අගමැතිවරයා සමගින් සිදුකරන ලද සාකච්ඡාව සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයට එල්ල වන වේවේචන පිළිබදව දෙමළ මාධ්‍ය වෙත අදහස් පලකරමින් සම්බන්ධන් මහතා මේ බව අවධාරණය කර සිටියේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ආර්.සම්බන්ධන් මහතා මෙසේද කීය.
දෙමළ ජාතික සන්ධානය ප්‍රතිවාදී අනෙක් සියළුම දෙමළ දේශපාලන පක්ෂ දෙමළ ජාතික සන්ධානය විවේචනය කිරීම ඔවුන්ගේ ප්‍රධාන රාජකාරියක් කරගෙනයි කටයුතු කරන්නේ.එනිසා ඔවුන්ගේ විවේචනවලට අපි පිළිතුරු දෙන්න ඕන නැහැ. අප දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසදන්න ලැබෙන හැම අවස්ථාවක්ම සුදුසු අවස්ථාවේදී ප්‍රයෝජනයට ගන්නවා.ඉදිරියටත් එහෙම කරනවා.ඒ ස්ථාවරයේ කිසිදු වෙනසක් නැහැ.
කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීමෙන් හටගෙන තිබෙන තත්වය ගැන සාකච්ඡා කරන්න අගමැති මහින්ද රාජපක්ෂ මහතා සියළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සාකච්ඡාවකට අරලියගහ මන්දිරයට කැදවනු ලැබුවා.ඒ සාකච්ඡාවට අපි සහබාගී වුනා.එහිදී දෙමළ ජනතාව මුහුණ දෙමින් සිටින අර්බුද, දෙමළ ජනතාගේ දේශපාලන ස්ථාවරය, ජාතික ගැටළුවට දේශපාලන විසදුම් ගෙන ඒම සහ ඒ සදහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාව පැහැදිලි කරමින් අප විසින් අගමැතිවරයා වෙත වාර්තාවක් බාරදුන්නා.
ඒ සාකච්ඡාව අවසන් වීමෙන් පසු දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී කණ්ඩායම සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වූවා.රටේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දෙමළ ජනතාව පිළිගන්නෙ නැහැ.දෙමළ ජනතාව පස් වතාවක්ම එම ව්‍යවස්ථාව ප්‍රතික්ෂේප කරල තියෙනවා.
දෙමළ ජනතාවගේ සාධාරණ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමේ අවශ්‍යතාවක් ගෙන ආ යුතුයි කියල අප අගමැතිවරයා වෙත පෙන්වා දුන්නා.
එමෙන්ම උතුරේ ජාතික ප්‍රශ්නයට දෙශපාලන විසදුම් ගෙන ඒම විවිධ හේතු කාරණා පෙන්වමින් අතපසු නොකරන ලෙස අපි ඉල්ලා සිටියා.එමෙන්ම කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සදහා නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී නීතිගරුක
පාලනයක් ක්‍රියාත්මක විය යුතු බවටද අගමැතිවරයා හමුවී අවධාරණය කළා.
මේ ප්‍රශ්න ගැන සාකච්ඡා කරන්න අප ඉදිරිපත් වීම වැරදිද.අප කතා කරන්න ඕන කාරණාවන් කතා කළ යුතු පාර්ශව එක්ක සුදුසු අවස්ථාවේදී කතා කරනවා. දෙමළ ජාතික සන්ධානය ගැන විවේචන අවලාද ඉදිරිපත් කරන උදවියගේ කල්ක්‍රියාව ගැන මනා අවබෝධයකින් දෙමළ ජනතාව පසුවෙනවා යැයිද සම්බන්ධන් මහතා කීය.
COMMENTS
යන්නේ කොහෙද මල්ලේ පොල් කිව්වා වගේ කථාවක්..!!! කොරෝනා හා දේශපාලන විසඳුම අතර සම්බන්ධය මොකක්ද?.
කාෙහොමත් නිල වාහනයයි, නිල නිවාසයයි. අනිත් වරප්‍රසාදයි රැකගන්න එපායෑ..
ඔව්, දැන් එපා... තව වසර කීපයකින් පසු උත්තර දෙන්න..
අසරණ වූ දෙමළ ජනයා ජීවත් වෙන්න ආහාර, කරන්න රස්සාවක්, ලෙඩ වුණාම ඉස්පිරිතාලෙන් බෙහෙත් ටිකක් මිසක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නම් ඉල්ලනවා දැකලා නෑ...
අඩුපාඩු දුටු තැන විවේචනය කිරීම කලයුතුයි... එහි කිසිදු වැරද්දක් නැහැ. දැන් මෙහෙමනේ ලොකු උන්නැහේ ... අවංකවම කියනවා නම් ඉතිහාසය හොදින් දන්නා කිසිවෙකු ඉතාමත් කල්පනාකාරීව තමයි සාකච්චා කල යුත්තේ.. මහජාතිය පාවාදී අනෙකුත් ශ්‍රී ලාංකීය කොටස්වල චන්ද ගොඩ බලාගෙන කිනම් හෝ දේශපාලුවෙක් තීන්දු තීරණ ගන්නේ නම් එය නිවැරදිද වැරදිද කියල වයසින් මුහුකුරා ගිය ඔහෙම කියනවකො බලන්න... සරල උදාහරණයක් සදහන් කරන්නම් මෙදෙස ලුකු උන්නැහේ මධ්‍යස්ථව බලයි කියා අප විස්වාස කරනවා.
මට පෙනෙන්නේ මහින්ද සුමනදාසගේ ඉනා තෙල් මේ මනුස්සයාගේ ඇඟේ ගාලා.
උතුරෙන් හමුදාව ඉවත් කරගන්න... ?
මෙයාලට තෙල් ඕනේ නෑ. දෙමල ජනතාවගේ ප්‍රශ්න විසදන්නත් ඕනේ නෑ. කොළඹින් හොද ගෙදරක් එක්ක බෙන්ස් කාර් එකක් දුන්න නම් ඕව අමතක වෙනවා. මතකද විපක්ෂ නායක වෙලා හිටපු කාලේ ආණ්ඩුවේ හැම යෝජනාවකටම අත ඉස්සුවා. දෙමල ජනතාව දැන්වත් තේරුම් ගන්න ඕනේ ඔයාලගේ මන්ත්‍රීලා ඔක්කොටම ඕනේ බඩ ගෝස්තරේ විතරය්. හැබැයි ඉතින් අපේ මන්ත‍්‍රීලා, ඇමතිලා ගත්තත් ඔය මොඩල් එකම තමයි.
අන්න මහජන නියෝජිතයෝ... මොනවා නොදුන්නත් තමන්ගේ ඡන්ද දායකයින් වෙනුවෙන් පෙනී සිටිනවා. එ්කට අපේ කට්ටිය, දවල්ට බුරියානි කන්න පුළුවන් වෙනකල්, ලක්ෂ තුන හතරක ඉන්ධන දීමනාව ලැබෙනකල්, ජනතාවට කරන අතිමහත් සේවය වෙනුවෙන් මැරෙනකල් පැන්ෂන් එක හදලා දෙනකල්, නිල නිවාස, අරක්ෂකයෝ ඇතුළු පහසුකම් ලැබෙනකල්, තීරු බදු නැතුව වාහන පර්මිට් එක දෙනකල්, සිංගප්පූරු ගිහින් බෙහෙත් ගන්න ආණ්ඩුවෙන් සල්ලි දෙනකල්, තමන්ගේ පාක්ෂිකයන් වෙනුවෙන් තියා රටට හෙන ගැහැව්වත් වුණත් සාකච්ඡා නැහැ... ඔහොම යමුකෝ අර එළුවාගේ මොකක්ද වැටෙනකල් පස්සෙන් ගියා වගේ...
මේ රටේ සිංහල අපට නැති දෙමළ ජනතාවට පමණක් තිබෙන ප්‍රශ්නය කුමක්ද? කියලා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන්න. එතකොට රටේ සාමාන්‍ය ජනතාව වන අපටත් මේ ගැන යම් වැටහීමක් ඇතිවෙනවා. මට පෙනෙන්නේ උතුරේ දෙමළ ජනතාවට තිබෙන ලොකුම ප්‍රශ්නය යුද්ධය අවසන්වෙලා අවරුදු 11 ක් ගතවෙලා තිබෙන මේ කාලයේ ඔබලා වැනි ජාතිවාදය කරපින්නාගත් දේශපාලකයන් අතළොස්සක් ඔබලාගේ දේශපාලන පැවැත්ම සදහා උතුරේ ජිවත් වන නුගත් දෙමළ ජනතාවගේ ඔලු තුලට ජාතිවාදය වපුරමින් ඔවුන් සෙසු ජනකොටස් වලින් ඈත් කිරීමය. ඔබලා දැන් කළ යුත්තේ ප්‍රභාකරන් විසින් ඉස්කෝල , රෝහල් , සහ වෙනත් යටිතල පහසුකම් විනාශ කිරීම නිසා , අධ්‍යාපනික ආර්ථික සමාජීය වශයෙන් විශාල පසුබෑමකට ලක්වුන උතුරේ ජිවත් වන දෙමළ ජනතාවට අවශ්‍ය ඉස්කෝල , රෝහල් වැනි පොදු පහසුකම් දියුණුකර , අනෙකුත් රටේ අනෙකුත් ජාතීන්ට අයත් ආයෝජකයෝ සංචාරකයෝ උතුරට ගෙන්වාගෙන උතුරේ ආර්ථික දියුණුවක් අත්කර දීමට කටයුතු කිරීමය. නමුත් ඔබලා කරන්නේ මෙයට හාත්පසින්ම වෙනස් දෙයකි .
ඔය බළලා මල්ලෙන් එළියට එන්නේ. මේ අයට පොරොන්දු වෙන්න ඇති උතුරු නැගෙනහිර එකතු කරලා දෙනවා කියලා. ඒකයි පැනගෙන ආවේ. දැන් එල්ලෙන්න වැලේ වැල් ඉන්නේ. කොහොම හරි තමන්ගේ බලය රැකගන්න හදන්නේ.
මගේ මතය නම් රටේම තිබෙන පළාත් සභා සියල්ල අහෝසිකර, පළාත් සභාවල දේශපාලකයින් නිලධාරීන්, ගොඩනැගිලි වැනි සම්පත් නඩත්තු කිරීමට නිස්කාරණයේ වියදම් කරන මුදල් පළවෙනි අවුරුදු 3 තුළ යුද්ධය නිසා බැටකනු ලැබූ උතුරු සහ නැගෙනහර පාසල්, රෝහල් වැනි පොදු පහසුකම් වැඩි දියුණු කිරීමට ඍජුවම යොදවා, ඉන්පසුව රටේම අධ්‍යාපන සහ සෞඛ්‍ය අංශවලට බෙදීයන ලෙස කටයුතු කළ යුතුයි. ප්‍රභාකරන් විසින් විනාශ කරන ලද උතුරු, නැගෙනහිර පළාත්වල ජනතාවගේ අධ්‍යාපන පහසුකම් දියුණු කිරීම තුළින්, ජතිවාදී දේශපාලකයින්ට බොරු කියා ඔවුන් මුලා කිරීමට නොහැකිවනු ඇත.