(ඩයනා උදයංගනී)

         

මිග් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක‍්‍රමිකතා සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා සම්බන්ධ නඩුවට විමර්ශන කටයුතු කළ නිලධාරීන් මාරු කර ඇත්තේ දැනට හෙළිවී ඇති යම් යම් කරුණු යටපත් කිරීමට ද යන සැකය මතුවන බව පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ නියෝජ්‍ය ප‍්‍රධාන සංවිධායක, එක්සත් ජාතික පක්‍ෂ කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජේ.සී අලවතුවල මහතා පැවසීය.

වසර හතර හමාරක් තිස්සේ එම සිද්ධියට පරීක්‍ෂණ කළ නිලධාරීන් ඉවත් කිරීම ගැටලූවක් බව කී මන්ත‍්‍රීවරයා ඔවුන්ගේ සහය යළිත් ලබාගනිමින් වැරදිකරුවන්ට දඬුවම් ලබා දෙන්නැයි  තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද සඳහන් කළේය.

ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර ඇති පරිදි නීතිය සැමට සමාන නම් එය ක‍්‍රියාවෙන් ද පෙන්විය යුතු බව අලවතුවල මහතා කීවේය.

මන්ත‍්‍රීවරයා මේ බව පැවසුවේ කොළඹ පිහිටි විපක්‍ෂනායක කාර්යාලයේ දී අද (18) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

උදයංග වීරතුංග මහතා සම්බන්ධයෙන් පසුගිය වසර හතර හමාරක් පුරා විමර්ශනය කළ නිලධාරීන් ඉවත් කර අලූත් නිලධාරීන් පත්කර තිබීම ගැන මහේස්ත‍්‍රාත්වරයාගේ අවධානය යොමුව තිබීම වැදගත් කරුණක් බව කී අලවතුවල මහතා එම සිද්ධියේ දී අධිකරණයේ ස්වාධීනත්වය යළිත් තහවුරු වූ බව ද කීවේය.

අධිකරණයට හා රාජ්‍ය නිලධාරීන්ට ස්වාධීනව කටයුතු කිරීමේ ශක්තිය ලැබුණේ වත්මන් රජය නිසා නොව පසුගිය රජය ගෙන ආ 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් බවද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.