(අජිත්ලාල් ශාන්තඋදය සහ වයි.ඒ.එස්.වීරවංශ)

ලෝකාන්තයට පහළ බළන්ගොඩ නන්පෙරියල් සහ ආදරකන්ද ප‍්‍රදේශවල රක්‍ෂිතය පුරා හතරවන දිනයටත් පැතිරයන් ගින්න නිවීමට ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානයක් අද (31) දෙවැනි දිනයටත් යොදා ගනු ලැබීය.

බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටරයක් ඒ සඳහා යොදාගෙන තිබේ. හෙලිකොප්ටර් යානාවලින් ගිනි නිවිමට ජලය ගෙන යාමට භාවිතා කරන ‘බම්බි බකට්’ වර්ගයේ උපාංගය භාවිතා කර සමනල වැවෙන් වතුර ගෙන ගොස් ගින්නට දමා ගින්න නිවීම සිදුකරයි.

මෙම ගින්න පැතිර යන ප‍්‍රදේශය තද බෑවුම් සහිත පයින් ළඟාවීමට අපහසුම ප‍්‍රදේශයකි. එසේම වළව නිම්නය දෙසින් හමා එන තද සුළඟ නිසා ගින්න පැතිර යයි. එහි ඇති සවානා බිම් සහ මානා වර්ගයට අයත් තෘණ වර්ගවල වියළි බව ගින්න පැතිරයාමට හේතුවක් ද වී තිබේ. මේවනවිට අක්කර 500 කට වැඩි ප‍්‍රදේශයක් ගින්නෙන් විනාශ වී ඇත.