(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් රචනා කොට විශාරද නන්දා මාලනී මහත්මිය විසින් ගායනා කළ ගීත නීතිවිරෝධී ලෙස සංයුක්ත තැටිවලට ඇතුළත් අලෙවි කිරීමේ චෝදනාවට වරදකරු කළ විත්තිකරුවකුට මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළ අත්හිටවූ සිරදඬුවම් හා රුපියල් ලක්ෂ පහක දඩය ශ්‍රේෂ්ඨාධිකරණය අද තහවුරු කළේය.

ප්‍රියන්ත ජයවර්ධන, ගාමිණි අමරසේකර යන මහත්වරුන් ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා එම තීන්දුව ලබා දුන්නේය.

මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබා දුන් තීන්දුවට එරෙහිව පාදුක්කේ පදිංචි මානගේ සුසිල් ධර්මපාල නැමැත්ති අය  ගොනු කළ අභියාචනයක් නිෂ්ප්‍රභ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුව ලබා දෙන ලදී.

මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් රචනා කොට නන්දා මාලනිය විසින් 2005 වසරේ කොළඹ මහජන පුස්තකාලයේ දී   ගායනා කරන ලද "යොවුන් වසන්තයේ සහ ඔන්න එකොමත්" යන ගීත සහ මහගම සේකරයන් විසින් රචිත "ගලන ගඟකි ජීවිතේ හා සන්නාලියනේ" යන ගීත නීතිවිරෝධී ලෙස සංයුක්ත තැටිවල පටිගත කර අලෙවි කිරීම තුළින් බුද්ධිමය දේපළ පනත උල්ලංඝනය කළේ යැයි චෝදනා කොට පාදුක්ක ප්‍රදේශයේ පදිංචි එම පුද්ගලයාට එරෙහිව කොළඹ අපරාධ විමර්ශන අංශය විසින් මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය.

එම චෝදනාවට පෙත්සම්කාර අභියාචකට වරදකරු කළ මාළිගාකන්ද මහේසත්‍රාත් අධිකරණය ඔහුට එරෙහිව අත්හිටවූ සිරදඩුවම් හා රුපියල් ලක්ෂ පහක දඩයක් නියම කෙරිණි. එම දඩුවමට එරෙහිව පෙත්සම්කාර අභියාචක මෙම අභියාචන පෙත්සම ගොනු කළේය.