(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ගුරු හිඟය විසඳීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය යොමුවී තිබේ.

උසස් අධ්‍යාපන ආයතන වල මානව සම්පත් ශක්තිමත් කිරීම සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ව්‍යුහාත්මක ගැටලු සඳහා විසඳුම් ලබාදීම පිළිබඳව ද මෙම උපදේශක කාරක සභාවේ අවධානය යොමු විය.

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සභාපතිත්වයෙන් මෙම කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස් වු අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා කෙරිණි.

විශේෂයෙන්ම විද්‍යා හා ගණිත විෂයන් සඳහා පවතින ගුරු හිඟය අවම කිරීම සඳහා නව බඳවා ගැනීම් ක්‍රියාවලිය කඩිනම් කිරීම සහ ගුරු අවශ්‍යතා පවතින ප්‍රදේශ හඳුනාගෙන අවශ්‍ය පියවර ගැනීම පිළිබඳව අවධානය යොමු විය. එමෙන්ම උතුරු හා නැගෙනහිර ප්‍රදේශ ඇතුළු ගුරු හිඟයට මුහුණ දෙන පාසල් සඳහා විශේෂ අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාව ද පෙන්වා දෙන ලදී.

ගුරු ස්ථාන මාරු ක්‍රියාවලිය විනිවිදභාවයෙන් සහ අනුමත ප්‍රතිපත්තිවලට අනුව ක්‍රියාත්මක කිරීම, දුෂ්කර සේවා දීමනා ලබාදීමේ ක්‍රමවේදය සහ පාසල් දුෂ්කරතාව තීරණය කිරීමේ නිර්ණායක යළි සමාලෝචනය කිරීම පිළිබඳව ද සාකච්ඡා විය.