(සුජිත් හේවාජුලිගේ  සහ අංජුල මහික වීරරත්න)

නිරෝධායන නීති කඩකරමින්  උද්ඝෝෂණ හා රැස්වීම් පැවැත්වුවහොත්  එවැනි කටයුතු කරන අය ඉදිරියටත් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියාර් අද්මිරාල්  සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේ දී අද(9) පැවැසීය .

ඔහු මෙසේ පැවසුවේ  ලංකා ගුරු සේවා සංගමයේ  ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඇතුළු පිරිස  නිරෝධායනට යොමු කිරීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් විරෝධතාව පළ කරමින්  අදහස් දැක්වූ අවස්ථාවේදීය .

මේ එහිදී ඇති ඇතිවූ සංවාදයයි .

සරත් වීරසේකර මහතා :

නීතිය කඩ කරනවා නම් තරාතිරම කුමක් වුවත් ක්‍රියා කරනවා . සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් රැස්වීම් උද්ඝෝෂණ තියන්න අවසර දෙන්න එපා කියලා පොලිස්පතිතුමාට කියලා  තියෙනවා.

එජාප පත්කළ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා :

ජනතාවට රැස්වීමට අයිතියක් තියෙනවා. ජෝශප් ස්ටාලින් ඇතුළු පිරිස නිරෝධායන පනත යටතේ මුලතිව් ගෙනියන්න බැහැ.  නිරෝධායන පනත  මානව  අයිතිවාසිකම් අනුව සැකසිය යුතුයි. මෙයාලා කොරෝනා  පරීක්ෂණවලට යොමු කරලත් නැහැ


විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා :

මේ රෙගුලාසි ක්‍රියාත්මක කළ හැක්කේ නිසි බලධාරියාට පමණයි. නිසි බලධාරියා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා .පොදු ස්ථානවල හැසිරීමේදී  ක්‍රියාදාමයක් හඳුන්වා දී තිබෙනවා . මෙතනදි ක්‍රියාත්මක විය හැක්කේ පොලිසියට නොවේ. මෙතනදි නිරෝධායන පනත උල්ලංඝණය  වුණා . නිරෝධායනය ක්‍රියාත්මක කළ යුත්තේ සෞඛ්‍ය බලධාරීන් .ඒක පොලිසියට අතට ගන්න බැහැ . මෙය මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් . ඒ වගේම සෞඛ්‍ය  රෙගුලාසි උල්ලංඝනය කර තිබෙනවා.  සෞඛ්‍ය නිලධාරීන්ගේ වගකීම පොලිසිය උදුරාගෙන තිබෙනවා . කොරෝනා  පරීක්ෂණ නොකර ජෝශප් ස්ටාලින් ඇතුළු පිරිස  නිරෝධායනයට යොමු කළේ කොහොමද."

"මම පොලීසියට චෝදනා කරන්න කැමති නැහැ. මොකද පොලිසියේ බහුතරයක් හොඳින් රාජකාරි කරන අය  .
මේ රටේ අද තියෙන්නෙ කැලෑ නීතිය."

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා :

බැසිල් දිවුරුම් දීමෙන් පසු ඔහුට  සුබ පතන්න නගර ගණනාවක තෙරපි තෙරපි ජනහමු පැවැත්වුණා. එතනදී ඒ නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ . මෙතනදි ක්‍රියාත්මක වුණා. මෙය දේශපාලන දඩයමක් .තවත් විදියකින් කියනවා නම් පැහැර ගැනීමක්.මේ අය යළි කැඳවන්නයි ඔබතුමා නියෝගයක් ලබා දෙන්න .

සරත් වීරසේකර මහතා

උද්ඝෝෂණ කරන අය අප මීට පස්සෙත් අත්අඩංගුවට ගන්නවා . නිරෝධායන කළ යුතු බව කියන්නේ සෞඛ්ය නිලධාරීන්.අපි ඒ අය මුලතිව් අරන් ගියේ සෞඛ්‍ය නිලධාරීන්ගේ උපදෙස් අනුව . මම කාන්තාවන්ට ඇඳුම් අරන් ගියේ නෑ . ඒ අය භාණ්ඩ නැහැ කියලා මට කිව්වා .මම ඒ ගැන පොලිස්පතිතුමාට කිව්වා පමණයි . මෙතනදිත් මම ඒක කළා නම් ඔබතුමාලා ස්ටාලින්ට ඇඳුම් අරන් ගියා කියලා කියාවි . කවුරු කිව්වත් අපි නිරෝධායනය නවත්වන්නේ නෑ .නිරෝධායන නීති කඩකරමින් උද්ඝෝෂණය කරන අය අත්අඩංගුවට ගැනීමත් අපි නවත්වන්නේ නැහැ .

විපක්ෂ නායක :

කිසිම සෞඛ්‍ය නිලධාරියෙක් උසාවිය ඇතුලළේවත් උසාවියේ පිටතවත් හිටියේ නැහැ . ඒක තමයි තිත්ත ඇත්ත . ඔය කොරෝනා නීති දිවුරුම් දීමෙන් පසුව පැවැත්වෙන ප්‍රිය සම්භාෂණවලට අදාළ  නැද්ද . ඒ වගේ තැන්වලදි රතිඤ්ඤා පත්තු කර කර දඟලන්න පුලුවන්ද .

රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා

මේ යන්නේ සභාවේ න්‍යාය පත්‍රයද .  මේවා න්‍යාය පත්‍රයට  අදාළ  නෑ .මේක කෝලම් මඩුවක් කරන්න එපා .පක්ෂ නායක රැස්වීමේදී ගන්න තීන්දු මෙතන ක්‍රියාත්මක කරන්න . න්‍යාය පත්‍රයට දැන් අවධානය යොමු කරන්න .

(සභාවේ ඝෝෂා )

කතානායක:
මොකක්ද රීති ප්‍රශ්නය . මේ රැස්වීම කඩාකප්පල් කරන්න උත්සාහ කරන්න එපා . ඒක අශෝභනයි .ඔබතුමාලගේ නායකයෝ මේ සභාව ගෙනියන්න උදව් කරනවා කිව්වා .

(සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු කෑ ගසති.)

අනුර දිසානායක මහතා :

නීතිය කියන්නේ  ඔබතුමාගේ ඔළුවේ පැලවෙන මනස්ගාත නොවේ.

කතානායක :
පෙත්සම ඉදිරිපත් කරන්න

අනුර දිසානායක මහතා :

මේක තමයි රටේම පෙත්සම .සරත් වීරසේකර මහතා රටටම ඉදිරිපත් කළ පෙත්සම ගැන අපි ඉදිරියේ දී නීතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා .

නලීන් බණ්ඩාර මහතා:

මෙතුමා ජෝශප් ස්ටාලින් ඇරියේ මුලතිව්වලට .නමුත් පියුමි හන්සමාලි බණ්ඩාරවලට ඇරියා .