(නිමල කොඩිතුවක්කු)

නිදහසත් ප්‍රජාතන්ත්‍රවාදයත් ඉහළට ඔසවා තැබිය හැකි ශක්තිමත් ජනතා සන්ධානයක් දේශපාලන පක්ෂ වලට ඉහළින් ගොඩනගමින්  ඊළඟ මැතිවරණ සඳහා තරඟ කරන බව ජාතික හෙළ උරුමයේ මහලේකම් පාඨලී චම්පික රණවක මහතා කොළඹදී අද (12) පැවැසීය.

ඊළඟ  අගමැති ජනාධිපති අපේක්ෂකයා නම් කරගෙන එම ජනතා සන්ධානය ගොඩ නැගිය නොහැකි බවත්  සියලු දෙනාම  නායකයන් වන ලෙස මෙම නව සන්ධානය ගොඩනගන බවද රණවක මහතා සඳහන් කළේය.

‘‘ප්‍රජාතන්ත්‍රවාදය වල දමයි. රට අනතුරේ. ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවන්ට  ජන බලයෙන් පිලිතුරු දෙමු‘‘ යනුවෙන් සිවිල් සංවිධාන එකමුතුව සංවිධානය කළ ජන හමුවකට කොළඹ නව නගර ශාලාවේදී එක්වෙමින් ඒ මහතා  මේ බව පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා මෙසේද කීය.

      ‘‘අපේ රටේ ඉතිහාසයේ තීරණාත්මක මංසන්ධියකට අපි පැමිණිලා තියෙනවා. ජනාධිපතිවරයා විසින් පසුගිය සති දෙකක කාලය තුළ ව්‍යවස්තාව, සදාචාරය පිලිබඳ කිසිදු  තැකීමකින් තොරව මේ රටේ සෑම ජන කණ්ඩායමකටම සෑම පුරවැසියකුටම පිලිකුලක් ඇතිවෙන විදියට ක්‍රියාකළා.

අද මෛත්‍රීපාල සිරිසේන මහතාට පක්ෂයක් නැහැ. අද එතුමන්ව දේශපාලනික වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය කරලා ඉවරයි. අද මෛත්‍රීපාල සිරිසේන  මහතාට තමන් වෙනුවෙන් කියලා කිසිම  කෙනෙක් නැති තත්වයකට පත් වෙලා තියෙනවා.

මහින්ද තමන්ට දීපු තනතුරට කෙළෙහි ගුන දැකුවූයේ  මුලුමනින්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුව බවට පරිවර්ථනය කරලා දේශපාලන අනාථයෙක් බවට පත්කරලයි.

සිරිසේන මහතාට කොහිල කටු ඇනි ඇනි හරි මේ ආන්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදි බලවේග එක්ක හිටියනම් එතුමාට 2020 වෙනකම්  යන්න තිබුණා. මහින්ද අගමැති කිරීමෙන් එතුමන්ට අද එම ධූර  කාලය අවසන් වෙනතෙක් මහින්ද  රාජපක්ෂ මහතාම ඉඩ දෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඒ රාජපක්ෂලා නෙමෙයි.

සිරිසේන  මහතාගේ ගුණමකුකම්  ගැන, අකෘතඥකම් ගැන, ව්‍යවස්තා විරෝධී, සම්ප්‍රදා  විරෝධි කාරණා ගැන අපි කතා කිරීම ඇත්තටම පිලිකුලක්. අපිට නැවතත් සතුරු කඳවුර මුන ගැහිලා තියෙනවා. මේ  රටේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් රාජපක්ෂ ජුන්ටාව තමයි අද අපි ඉදිරියේ තියෙන ප්‍රබලම අභියෝගයයි. ඒ අභියෝගය ජයගන්න ඉදිරි කාළයේදි අපි කටයුතු කළ යුතුයි.

නැවත බලයට එන්නට වලිකන මේ පිරිසේ තත්ත්වය අපි පසුගිය සති දෙකක කාලය තුළ දැක්කා. මේ  රාජපක්ෂ ජුන්ටාව පරාජය කිරීමට දේශපාලන පක්ෂ, සංවිධාන ජාති ආගම් භේද  වලට උඩින් ශක්තිමත් ප්‍රබල  ජනතා සන්ධානයක්  බිහිකරගැනීම අද අපි ඉදිරියේ තියෙනවා.

නැත්නම්  මේ රාජපක්ෂ ජුන්ටාවේ යකඩ රෝලට මේ රට අනාගතයේදී යට වෙනවා. ඒකට අපි කවුරුත් සුදානම් විය යුතුයි.  2015 ජනවාරි 08 සිවිල් සංවිදාන, වෘත්තීයවේදීන්, ආගමික නායකයින් එක්ව ගෙන ගිය  සටනටත් වඩා ශක්තිමත්ව එකට එකතු වෙලා  මේ පුලුල් ජාතික සන්ධානය ගොඩනැගිය යුතුයි.

ඊළඟ මැතිවරණ අපි කරන්න ඕන කොළ පාටින්ද,  නිල් පාටින්ද, රතු පාටින්ද නෙමෙයි. ඊළඟ මැතිවරණ අපි  කරන්න ඕන මේ රටේ නිදහසත් ප්‍රජාතන්ත්‍රවාදයත් ඉහළට ඔසවා තබන්න පුලුවන් ශක්තිමත් ජනතා සන්දානයක් පක්ෂ වලට ඉහලින් ගොඩනගමින්  කියලා කියන්න ඕන.

ඊළඟ  අගමැති අපේක්ෂකයා ජනාධිපති අපේක්ෂකයා නම් කරගෙන නෙමෙයි  මේවා කරන්න ඕන. අපි සියලු දෙනාම  නායකයන් වන ප්‍රජාතන්ත්‍රවාදයට නිදහසට නායකත්වය දෙන්න පුලුවන් අලුත් සන්ධානයකින් තමයි මේක ජයගන්න පුලුවන් වෙන්නේ යැයිද ඔහු එහිදි පැවැසීය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතාද මෙහිදී අදහස් දැක්වීය.

   ‘‘මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා බවට පත්වෙලා එදා පළමු මාධ්‍ය හමුව පැවැත්වුනේ මේ නව නගර ශාලාවේදියි. ඉන් පසුවත් එතුමත් මමත් අවස්ථා ගණනාවකදී මෙම ස්ථානයේ විවිධ උත්සව වලට සහභාගි වුණා.  අද මට සහභාගි වෙන්න  තියෙන්නේ එතුමන්ට විරුද්ධවයි. ඒක තමයි මේ දේශපාලනයේ දෛවය කියන්නේ.

විධායක ජනාධිපතිධූරයට එරෙහිව අපි මේ සටන ආරම්භ කළේ 1978 අවුරුද්දේ සිටයි. මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ගිය ආණ්ඩුවෙන් එළියට එන්නත් ප්‍රධාන සටන් පාඨයක් බවට පත්වුණේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමයි.

ඒ වෙනුවෙන් මගේ ස්ථාවරයේ මම දිගටම ඉන්නවා. කිසිදු වෙනසක් නැහැ. මම ඔය විධායක පුටුවේ වාඩි වුනත් මමත් වෙනස් වෙන්න පුලුවන්. ඒ නිසා අපි මේ විධායක ජනාධිපති ධුරය කෙසේ හෝ අහෝසි කළ යුතුයි.

විධායක ජනාධිපතිධුරයට විරුද්ධව අපි 78 සටන් කරනවිට අපි තරුණයි. දැන් අපි මහලුයි. ඒත් අපි තවමත් මේ විධියක ජනාධිපතිධුරයට එරෙහිව සටන් කරනවා.

විධායක බලය නැති කරන්න ආපු මෛත්‍රීපාල සිරිසේන මහතා දැන් නැති බළතලත් පාවිච්චි කරමින් සිටිනවා. 

මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වගේ කටයුතු කරයි කියලා කවුරු හරි අඩුම තරමින් හිනෙන්වත් හිතලා තියෙනවද? පොළොන්නරුවට වෙලා රට පාලනය කරන්න ආපු මෛත්‍රීපාල සිරිසේන මහතා අද මේ විදියට වෙනස් වෙලා තියෙනවා.

අපි මේ ව්‍යවස්ථා විරෝධී ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩපිළිවළට එරෙහිව පුළුල් ජනතා සන්ධානයක් ගොඩනැගිය යුතුය. ඒක පාටවල් දෙකක් තුනක් නෙමෙයි දේදුනු සන්ධානයක් අපි ගොඩනගනවා‘‘ යැයිද ඔහු එහිදි පැවැසීය.