(කාංචන කුමාර ආරියදාස)

දෙවහුව ජලාශය යටතේ වගා කරන කුඹුරු අක්කර 3000 ක වී වගාවෙන් ඉවත් වන බව අනුරාධපුර සහ මාතලේ දිස්ත්‍රික්කයේ ගොවි සංවිධාන නියෝජිතයෝ අද පැවති කන්න රැස්වීමේදී මාතලේ දිසාපතිවරයාට දැනුවත් කරමින් කන්න රැස්වීමෙන් ඉවත්ව ගියහ.

මාතලේ දිස්ත්‍රික්කයේ සහ අනුරාධපුර දිස්ත්‍රික් කෘෂිකර්ම වාරිමාර්ග ගොවිජන සේවා නිලධාරීන් මෙන්ම ප්‍රාදේශීය ලේකම් වරුන්ගේ සහභාගිත්වයෙන් මාතලේ දිසාපති පී .කේ .ඩී . පෙරේරා මහතා ගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම දේවහුව පුංචි දඹුල්ල රජ මහා විහාරයේ දී පැවැත්විණි.

ගොවි සංවිධාන 09 ක ගොවි නියෝජිතයන් මෙන්ම නිලධාරීන් විහාරස්ථානයේ ධර්මශාලාවට පස්වරුවේ රැස්ව දේවහුව ජලාශය යටතේ ඉදිරි සැලසුම් කිරීම් ජලය නිකුත් කිරීම් ආදී කරුණු කාරණා පිළිබඳව තීන්දු තීරණ ලබා ගැනීම් ආරම්භ කෙරිණි.

එහිදී ගොවි නියෝජිතයන් සියලු දෙනා රජයේ නිලධාරින් ගෙන් විමසා සිටියේ මෙවර වී වගාව සදහා රසායනික පොහොර වල්නාශක කෘමිනාශක ආදී ලබා දෙන්නේ ද යන්නය  පැමිණ සිටි රජයේ නිලධාරීන් සියලු දෙනාගේ මතය බවට පත්වූයේ රජය ගත් ප්‍රතිපත්ති තීන්දුව රාජ්‍ය නිලධාරීන් ලෙස වෙනස් කිරීමට තමන්ට හැකියාවක් නොමැති බවය.

මාතලේ දිස්ත්‍රික් ලේකම් පී.කේ .ඩී . පෙරේරා මහතාගේ තීන්දුව කුමක්දැයි ගොවීන් ප්‍රශ්න කරන්නට විය .එහිදී දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ කාබනික වගාව සඳහා රජය ලබා ගෙන ඇති ප්‍රතිපත්ති තීන්දුවට පිටතින් රජයේ නිලධාරීන් හැටියට ගම්න් කිරීම්ට නොහැකි බවය. එම ප්‍රකාශය කිරීම්ත් සමඟ පැමිණ සිටි ගොවි නියෝජිතයන් සියලු දෙනා කන්න රැස්වීමේ නොසන්සුන්කාරී ලෙස හැසිරෙමින් නිලධාරී කණ්ඩායම පමණක් එම රැස්වීම් ශාලාවේ තබා ඉන් පිටතට යන්නට වූහ.