(ඩයනා උදයංගනී)

දියවන්නා ඔයේ පාර්ලිමේන්තුව අවට ප්‍රදේශයේත්, බත්තරමුල්ල පාලම් තුන අවට පිහිටි තෙත්බිමේත් ජලය අවපැහැගැන්වීම සම්බන්ධව වහාම සොයාබලා තමන්ට වාර්තාවක් ලබා දෙන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් දී ඇත.

මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතාට ලිපියක් යොමුකරමින් මේ බව දැනුම් දුන් බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

දියවන්නාවේ ජලය මින් පෙර මෙලෙස අවපැහැගැන්වීමක් වී නොමැති නිසා මේ සම්බන්ධව තමන් විද්‍යාත්මක විමර්ශන වාර්තාවක් අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙහි ජලය අපිරිඳුවීමට හේතුව විපක්ෂ මන්ත්‍රීන් විසින් පාර්ලිමේන්තුවේ දී සඳහන් කළ පරිදි මිනිස් මළ අපද්‍රව්‍ය බැහැර කිරීමක්ද එසේත් නැතිනම් කිසියම් ඇල්ගී විශේෂයක් වර්ධනය වීමක් ද යන්න මෙතෙක් නිශ්චිතව කිව නොහැකි බව අමාත්‍යවරයා කියයි.

දින කිහිපයක සිට පවතින මෙම ජලය අවර්ණවීම දිනෙන් දින වර්ධනය වීමක් දක්නට ලැබෙන බැවින් ජලය දූෂණය වීමක් සිදු වී ඇත්ද යන්න මෙන්ම ඉන් දියවන්නාවේ වෙසෙන ජලජ සතුන්ට හානිකර තත්ත්වයක් මතුවිය හැකි ද යන්නත් සොයා බලන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

මෙම වාර්තාව කඩිනමින් තමන්ට ලබා දෙන ලෙස ද අමාත්‍යවරයා මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දී ඇත.