(නිමල කොඩිතුවක්කු)

මිලියන තුන්සීයට වඩා අඩු ණය ගෙවීමට නොහැකි වීම නිසා බැංකු විසින් වෙන්දේසී  කිරීමට  නියමිත දේපල වෙන්දේසි කිරිම පමණක්  වර්ෂයක කාලයක් සඳහා අත්හිටුවීමට රජය තීරණයක් ගෙන ඇතැයි උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කොළඹදී අද (23) පැවසීය.

එම ණය මුදල් කපා හැරීමක් සිදු නොවන බවත් පැවසූ අමාත්‍යවරයා පසුගිය රජය කොන්ත‍්‍රාත්වලට  මුදල් නොගෙවීම නිසා තමන්ගේ  ඉඩකඩම්, යාන වාහන සියල්ල බැංකු වලට  සින්න වූ  ව්‍යාපාර ප‍්‍රජාවට තාවකාලික සහනයක් ලබාදීමේ අරමුණින් මෙම පියවර ගත් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

රජයේ ප‍්‍රවෘත්ති ශ‍්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.

කොන්ත‍්‍රාත්කරුවන් වෙනුවෙන් පසුගිය රජය  ගෙවීමට  ඇති මුදල්  ප‍්‍රමාණය සහ ඒ මුදල් ගෙවිය යුත්තේ කාටද යන්න පිළිබඳ සංඛ්‍යා දත්ත සහිත සම්පූර්ණ වාර්තාවක්   පාර්ලිමේන්තුවට  ඉදිරිපත් කරන ලෙස මුදල් අමාත්‍යවරයා වශයෙන් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ  මහතා මුදල් අමාත්‍යාංශයට නියෝග කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.