රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ 

දැදුරුඔය ජලාශ රක්ෂිතයේ වන වගාවක් ගලවාදමා වී වගා කිරීම සදහා සී සාන ලද සිද්ධියක් පිලිබඳව වාරියපොල මළගනේ ප්‍රදේශයේ පරිසර හිතකාමීන් පිරිසක් අද (19) දහවල් වාරියපොල පොලිසියට පැමිණිලි කලහ.

මීට මාස නමයකට පමණ ප්‍රථම දැදුරුඔය ජලාශය බාර ඉන්ජිනේරුවරයාගේ අනුදැනුම මත ප්‍රදේශයේ මහා සංඝරත්නය, මළගනේ ප්‍රදේශවාසීන්, අාබාධිත රණවිරුවන් පාසල් පරිසර නියමුවන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් කුඹුක් ඇතුළු පරිසර හිතකාමී පැල දෙදහසක් මෙම දැදුරුඔය රක්ෂිතය තුල සිටුවීමට පියවර ගැනිණි. 

එහෙත් නව වසර සදහා පැල සිටුවීමේ දිනය වන අද දිනයේ එම වන වගාවෙන් කොටසක් ගලවා දමා එම රක්ෂිතයේ  වී වගාව සදහා බිම සකස් කිරීමට කිසියම් පිරිසක් ක්‍රියාකර ඇතිබව පරිසර හිතකාමීන් කියා සිටිති. මෙම ක්‍රියාව නවතා දමන ලෙස අදාළ පිරිස දැනුවත් කරනු ලැබුවත් ඔවුන් එම කටයුත්ත දිගටම සිදුකරගෙන යන බැවින් පරිසර හිතකාමීන් විසින් වාරියපොල පොලිසියට සහ දැදුරුඔය බාර වාරි ඉන්ජිනේරුවරයාට පැමිණිලි කර ඇත. ඉතිරිව ඇති වන වගාව ආරක්ෂා කරගැනීමේ අරමුණ ඇතිව ඔවුන් මෙසේ අදාල අංශ වලට පැමිණිලි කලහ.

පරිසර සහ සොබදහම් අධ්‍යාපන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක පරිසරවේදී ආචාර්ය රවින්ද්‍ර කාරියවසම් මහතාද මෙම ස්ථානයට පැමිණ සිදුකර ඇති විනාශය පරීක්ෂා කර ප්‍රදේශවාසීන්ට ගතයුතු ඉදිරි පියවර අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය.