ලොවපුරා පැතිර ගොස් තිබෙන කොවිඩ්-19’ වසංගතයෙන් ලොව දිළිඳුම පුද්ගලයා මෙන්ම ඉතාම සුඛෝපභෝගී රටවල ජීවත්වන ධනවත්ම පුද්ගලයන් පවා පීඩාවට පත්ව ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (6) ප්‍රකාශ කළේය.
ජාති ආගම් වශයෙන් වෙන්ව කටයුතු කළත් කවුරුත් පොදු ඉරණමක් සහිත මනුෂ්‍යයන් බව වැටහී ඇති මේ මොහොතේ බුදු දහමේ උත්තරීතර ප්‍රාර්ථනාව වන සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! යි ලෝකය වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවැසීය.
අරලිය ගහ මන්දිරයේ අද (6) පැවැති රාජ්‍ය වෙසක් උත්සවයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඒ බව සඳහන් කළේය.
ලොව බලවත්ම රටවල රාජ්‍ය නායකයන්ට පවා වසංගතයෙන් ගැලවීමට නොහැකි වී ඇතැයි අග්‍රාමාත්‍යවරයා එහිදී සිහිපත් කළේය.
එහිදි අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ද කීය.
බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පිරිණිවන් පෑම සිහිපත් කරන වෙසක් පොහොය ලෝකයේ තිබෙන උතුම්ම දිනය හැටියටයි බෞද්ධ අප සළකන්නේ. ඒ නිසාම අපේ චිරාගත බෞද්ධ සිරිතක් තිබුණා, කෙනෙකුගේ වයස ගැන කියන්නේ වෙසක් පොහොය ගණනින්. අනාගතය ගැන කියන්නේ වෙසක් පොහොය ගණනින්. බුද්ධාගම ආරක්ෂා කරන ආණ්ඩුවක් එන්නේ කවදා ද කියලා මගෙන් ඇහුවම මම එදා උත්තර දුන්නෙත් වෙසක් පෝය ගණනින්. දැන් ඒ වෙසක් පෝය උදාවෙලා.
වෙසක් පෝය බෞද්ධ ජනතාවගේ විතරක් නෙවෙයි ලෝකයේ නොයෙක් ආගම්වල, ජාතීන්වල අයගේ ගෞරවයට ලක්වුණ දවසක්. කොයි ජාතීන්ගේත් පිළිගැනීමට ලක්වුණ දවසක්. ඒ නිසා අද වෙසක් පොහොය ජාත්‍යන්තර නිවාඩු දිනයක් හැටියට සළකනවා. වෙසක් පොහොය ජාත්‍යන්තර නිවාඩු දිනයක් බවට පත්කරන්න වෙහෙස මහන්සිවෙලා කටයුතු කළේ ලක්ෂ්මන් කදිරගාමර් මැතිතුමා. ඒ වගේම ලංකාව යටත් විජිතයක් හැටියට පැවතුන කාලේ වෙසක් දවස රජයේ නිවාඩු දවසක් හැටියට පත්කරන්න යෝජනා කළේ පොන්නම්බලම් රාමනාදන් මැතිතුමා.
බෞද්ධ අපේ උතුම්ම ගුණයක් තමයි කෙළෙහි ගුණ සැළකීමේ ගුණය. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වුණ ගමන් කළේ තමන් පිටදුන් බෝධියට පවා කෙළෙහි ගුණ සැළකීම. ඒ උතුම් ගුණාංගය ආදර්ශයට අරගෙන අපි මේ වෙසක් පෝය දවස ජාතික හා ජාත්‍යන්තර නිවාඩු දිනයක් බවට පත්කරපු වීරයින්ට කෘතිවේදීත්වය පළකරන්න ඕනේ.
වෙසක් පෝය කියන්නේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ප්‍රතිපත්ති පූජාවට යොමුවන දවසක්. ඒ නිසා වෙනත් වෙසක් පෝයවලට වෙහෙර විහාර සුදුවතින් බැබළෙනවා. දහස් ගණන් වෙසක් පහණ්, තොරන්වලින් මේ රට ආලෝකමත්වෙනවා. හැම හන්දියක් ගානෙම මහා දන්සැල් පැවැත්වෙනවා. අපි දන්නවා වෙසක් උත්සවයට අපේ ජනතාව අරමුදල් එකතු කරගෙන සූදානම් වෙන්නේ බොහොම කාලෙක ඉඳලා. ගිය අවුරුද්දෙත් අපිට වෙසක් පොහොය සමරන්න බැරිවුණ නිසා මේ අවුරුද්දේ ඒ සඳහා සූදානම් වුණ ගිහි පින්වතුන්, සංගම්, සංවිධාන අප්‍රමාණ බව මම දන්නවා. නමුත් අද අපේ බෞද්ධයින්ගේ ඒ පුණ්‍යවන්ත බලාපොරොත්තුව ඉටුකර ගන්න බැරිවෙලා තියෙනවා. අපි ඒ බව උපේක්ෂා සහගතව තේරුම්ගන්න ඕනේ.
බුදුරජාණන් වහන්සේගේ ධර්මය තේරුම් ගත්ත අය, ඒ ධර්ම මාර්ගය පිළිගත්ත අය මේ විපත්වලින් කම්පාවෙන්නේ නැති බව මම දන්නවා. බෞද්ධ ජනතාව අෂ්ඨලෝක ධර්මය හමුවේ කම්පාවට පත්වන්නේ නෑ. ඒ නිසා අපි කොවිඩ් -19වසංගතය ධර්මය තේරුම්ගන්න, ලෝක ස්වභාවය තේරුම්ගන්න පිටුවහලක් කරගන්න ඕනේ.
සමහරු හිතනවා මේ වසංගතය, ස්වභාව ධර්මය විසින් ලෝක සත්වයාට දුන්නද දඬුවමක් කියලා. ඒ නිසා සමහර අය සතහට සෙත සළසනවාට වඩා කොවිඩ් වසංගතය දුරුකරන්න සම්බන්ධවෙලා වැඩකරන අයටත් දඩුවම් දෙන්න යෝජනා කරන බව අපිට ඇහිලා තියෙනවා.
බුදුහාමුදුරුවෝ අපට උගන්වලා තියෙන්නේ දඬුවමින් සියල්ලෝ තැති ගනිති, දඬුවමට සියල්ලෝ බියවෙති කියලයි. ඒ නිසා අපි දඬුවම් දෙන්න යන්නෙත් නෑ. දඬුවම් දෙන පවුකාර සිතිවිලි වලින් අපි බැහැර වෙනවා විතරක් නෙමෙයි මේක ස්වභාව ධර්මය දීපු දඬුවමක් හැටියට භාරගන්නෙත් නැති බව කියන්න ඕනේ.
මේක තමයි ලෝක ස්වභාවය. ලෝක ස්වභාවයට ලෝක බලවතුන් කියලා, දුබලයින් කියලා වෙනසක් නෑ. ලෝකයේ මොනතරම් බලවතුන් වුණත් ලෝක ස්වභාවය වෙනස් කරන්න බෑ. ජාති, ජරා, ව්‍යාධි, මරණ මේවා කාටත් පොදුයි. කොතනටත් පොදුයි. අද මේ වසංගතයෙන් ලෝකයේ දිළිඳුම පුද්ගලයා වගේම ඉතාම සුඛෝපභෝගී රටවල ජීවත්වන ධනවත්ම පුද්ගලයොත් පීඩාවට පත්වනවා. ලෝකයේ බලවත්ම රටවල රාජ්‍ය නායකයින්ටත් වසංගතයෙන් ගැලවෙන්න බැරිවෙලා තියෙනවා. සොබාදහම වෙනස් කරනවා කියලා කියපු අයට අද ලෝක ස්වභාවය ඉස්සරහා අසරණ වෙන්න වෙලා තියෙනවා.
055
(ඡායාරූප - අගමැති මාධ්‍ය අංශය)




COMMENTS
" ඒ වුනට හාන්දුරුවනේ.... මේ කොරෝනා මට නම් දෙයියෙක් වුනා. සුනාමි දෙයියට පස්සේ දැක්ක එකම දෙයියා කොරෝනා දේවියයි... මට බඩ කට පුරා ඇතිවෙන්න ඩොලර් දුන්නා...මේ රටේ මෝඩයින්ට ඕවා තේරුමක් නැහැ...වාසනාවකට ...හාන්දුරුවනේ..."
බෞද්ධ අපේ ප්‍රධානම ගුණය කෙලෙහිගුණ දැක්වීම වුවත් දේශපාලකයින් එය ජනතාවට දක්වන්නේ නැත්තේ ඇයි අගමැති තුමනි. ඔවුන්ට ජනතාව මතක්වෙන්නේ චන්දයක් කිට්ටු වෙනකොට විතරයි. සියල්ලෝම දඩුවමට බියයි, ඒක ඇත්ත. එත් ඇයි සමහර දේශපාලකයින් විරුද්ධවාදීන්ගෙන් පලි ගන්නේ..? ඇයි ඔවුන් ජනතා මුදල් කොල්ල කමින් සුර සැප විදින්නේ.. ඔබත් කියන පරිදිම මෙයත් ලෝක ස්වභාවයද..?
ආණ්ඩුවෙ ධුරවල කළමනාකරණය හා දේශපාලනය වාසි ලබාගන්න උත්සාහ කිරීම නිසා රට විනාශ වෙලා...
වස්ත්‍රය සුදුපිරුවට උනත් දේශපාලුවන්ගේ.. ඇතුලත නරා වලකී හැම දේශපාලුවෙකුගේ.. එය නැහැ කීමට බැරිබව නම් නොරසකි.. මේ ලක්ෂණය 225 ම පොදුය මෙසිරිලකේ...
සර්, කියපු දේ හොදටම ඇති මිනිහෙක්ට හැදෙන්න... හොද කතාවක්...
කොරෝනාවෙන් වැඩියෙන්ම අමාරුවේ වැටිලා තිබෙන්නේ ධනවතාවත්, දුගියාවත් නොව මධ්‍යම පන්තිකය සහ රජයට අතනොපා එදාවේල හම්බුකරගෙන කාපු මේසන් ,වඩු , විදුලි , කාර්මිකයන්, ස්වයන් රැකියාවල නිරතවුන පුද්ගලයන් ධනවතුන්ට මුදල් ඇත. නැතිනම් කිසි කරදරයක් නැතිව බැංකු විසින් ණය දෙනු ඇත. දුගියන්ට සමෘද්ධිය සහ රුපියල් 5000 යන දෙකම ලැබේ. ඉහත කි කොට්ඨාසයට මුකුත්ම නැත.
අනේ අපිනම් හරිම සතුටෙන් ඉන්නවා. රජය අපිව බලාගන්නවනේ
අපි දන්නවා සර්ලට තියෙන අමාරුකම්...
අපේ ප්‍රාර්ථනාව කොරෝනා වයිරසය පාර්ලිමේන්තුවට බෝවෙන්න කියලයි.
ධනවතුන් පීඩාවට පත් වෙලාද? ඔබ තුමාටත් ඒක දැනිලා වගේ.?
තාම බල තණ්හාකාරයින් කිසි කරදරයක් නැතුව ඉන්නවනේ.
හැම ව්‍යාපාරයක්ම වැහිලා තියෙද්දි ඇයි තැබෑරුම් අරින්නේ? තැබෑරුම් කාරයින්ට මිනිස්සුන්ගේ ජීවිත උගස් තියන්නද? රටේ ආර්ථිකය ගොඩ නැගෙනතුරු තැබෑරුම් වසා තැබිය යුතුමයි.
අනේ ඔය 225ම යන්න කියලා තමයි අපේ පැතුම... 225ම එක සැරෙටම පාර්ලිමෙන්තුවත් එක්කම පොළව යටටම යන්න ඔනෙ...ඉක්මණින්ම අපේ රට හැදෙන්න ඔනෙ නම්....
බන්දුල ගුණවර්ධන ඇමති කියන විදිහට පවුලකට මාසෙකට ජිවත් වෙන්න රුපියල් 2500 සෑහෙනවා... ඔය ලැබුන දීමන ඉහටත් උඩින් රුපියල් 5000 ආණ්ඩුවෙන් නොමිලේම ලැබුණා, සමුර්ධියත් ලැබෙනවා , ලොකු සැමන් ටින් එක රුපියල් 100 , පරිප්පු කිලෝ එක රුපියල් 60 ගන්න ලංකාවේ ඕනෑම තැනක තිබෙනවා.... ජන්ගම රථ වලින් එළවලු තොග පිටින් ගෙනත් රුපියල් 50-60 විකුණනවා. ගොවියොත් තම නිෂ්පාදන හොඳ මිලකට අතරමැදියෝ නැතිව විකුණුව කියල ඉන්නේ හරිම ප්‍රීතියෙන්.... මට තිබෙන එකම ප්‍රශ්නය ජිවන වියදම මෙච්චර අඩු රටේ ඇමතිලට වැටුප් සහ දීමන ඇතුළුව රුපියල් ලක්ෂ ගණනක් මාසෙකට ගෙවන්න ඕනෙද ? ඒගොල්ලන්නට රුපියල් 25000 ක පමණ වැටුපක් දුන්නම මදිද ? පැට්‍රොලුත් නොමිලේම හම්බු වෙනවා , බස්ගාස්තුත් ඉතුරු වෙනවා... ඔවුන්ව හම්බු වෙන්න එන පාක්ෂිකයෝ නොවරදවාම කිරි මුට්ටි කිහිපයක් , පැණි මුලක් , කෙසෙල් කැනක් ගෙන එන්න අමතක කරන්නේ නැහැ . එකෙන් කෑමට යන වියදමත් සැහෙන පමණකට අඩු වෙනවා.
ඔබතුමාට දැන් 75 විතර වෙනවා. විශ්‍රාම යන්න එහෙම අදහසක් නැද්ද ?