(සුජිත් හේවාජුලිගේ)

පැන්ඩෝරා පත්‍රිකාවල තමාගේ සහ තම බිරිඳගේ නම සඳහන් වී ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා ස්වාධීන විමර්ශන නිලධාරියකු පත්කරන ලෙස හිටපු ඇමැතිවරියකවන නිරූපමා රාජපක්ෂ මහත්මියගේ ස්වාමියා වන තිරුකුමාර් නඩේෂන් මහතා ජනාධිපතිවරයාට ලිපියක් යවමින් ඉල්ලීමක් කරයි.

ඒ සඳහා විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරුවරයකු පත්කිරීම වඩාත් සුදුසු බවද ඔහු එම ලිපියෙන් පෙන්වාදී ඇත.

එසේම තමා සහ තම බිරිඳ කිසිදු වරදක් කර නැති බවත් ඉදිරිපත් වී ඇති මෙම චෝදනාවලට නිර්දෝෂී යැයි සහතික වන බවත් නඩේෂන් මහතා එම ලිපියෙන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

පැන්ඩෝරා වත්කම් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති නිරූපමා රාජපක්ෂ මහත්මිය හිටපු ඇමැතිවරියකි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන අපක්ෂපාතී විමර්ශනයක් පවත්වන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් රජයෙන් පාර්ලිමේන්තුවේදී පෙරේදා (6) ඉල්ලීමක් කළහ.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වා මසක් ඇතුළත තමාට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිවරයාට දැනුම් දුන්නේය.