(විනීතා එම් ගමගේ)

ත්‍රිකුණාමලය මුහුදු සීමාවේ මෝදා මත්ස්‍ය ව්‍යාපෘතියක් ආරම්භ කිරිමට නොර්වේ  ආයෝජකයෙක් ඉදිරිපත්ව ඇතැයි ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා ලංකාදීපයට පැවැසීය.

ත්‍රිකුණාමලය ආසන්න මුහුදේ කූඩු තුළ සිදුකෙරෙන මෙම ව්‍යාපෘතිය ලබන මාසයේ ආරම්භ කිරීමට නියමිත බවත් ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන හතක් වැය කිරිමට නියමිත බවත් අමාත්‍යවරයා කීය.

මෝදා මසුන්ගේ ඉක්මන් වර්ධනය" වඩාත් රසවත් මත්ස්‍යයෙක් වීම" ඉහළ මිලක් ලැබීම" කරදිය හා මිරිදිය දෙකෙහිම ජීවත්විය හැකි මත්ස්‍යයෙක් වීම" කෘතිම අභීජනනය සිදු කළ හැකි වීම හා සකස් කරන ලද ආහාර මත වර්ධනය කළ හැකිවීම ජලජීවී වගාවේ දී ඉතා වාසිදායක තත්වයක් වන බව ධීවර රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ශ්‍රි ලංකාවේ දී කූඩු තුළ මොදා මත්ස්‍ය වගාව සඳහා සුවිශේෂි හැකියාවක් ඇති බවත් විශාල ප්‍රමාණයේ කළපු, විශාල ප්‍රමාණයේ ජලාශ හා නිසල මුහුද ඒ සඳහා වඩාත් යෝග්‍ය පරිසර වන බවත් සාගර පර්යේෂකයෝ පවසති.

විදේශ වෙළඳපොල සඳහා විශාල ඉල්ලුමක් පවතින බැවින් වාණිජ කර්මාන්තයක් ලෙස දියුණු කිරිමට විශාල ඉඩකඩක් පවතින බව ද ඔව්හු පෙන්වා දෙති.