(නිමල කොඩිතුවක්කු)

ණය ගන්න ආර්ථිකයක් වෙනුවට ණය ගෙවන්න පුලුවන් ආර්ථිකයක් ගොඩනගන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ  මහතා කොළඹදී පැවැසීය.

රටක් ලෙස හැමදාම ණය වෙවී හිඟන්නො වගේ කටයුතු කළ නොහැකි බවත් පැවසූ අගමැතිවරයා ශ්‍රී ලාංකිකයින් ලෙස ආත්ම ගෞරවයක්  ඇතිව  හිස කෙලින්  තියාගෙන වැඩ කළ හැකි රටක් ගොඩනගන බවත් සඳහන් කළේය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ  මහතා මේ බව පැවසුවේ කඩුවෙල පාලම විවෘත කිරීමේ  උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස අද (31) එක්වෙමිණි.

මංතීරු හතරකින් සහ මීටර් 280 ක දිගකින් යුත් කඩුවෙල පාලම ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 412ක් වැය කර තිබේ.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ  මහතා මෙසේද කීය.

‘‘මෙතන තිබුණේ තොටුපළක්. ඒ ගැන මතක අයත් මෙතන ඉන්නවා. 1977 දී ඡන්දය කරන අවස්ථාවේදී මම නිවසේ සිටියදී මට එම්. ඞී. එච්  ජයවර්ධන ඇමතිතුමා දුරකථන ඇමතුමක් ලබා දීලා අපි බියගමයි, කඩුවෙලයි යා කරන්න පාලමක් දාමු කියලා කිව්වා.

මම ඇහුවා කොහොමද ඒක කරන්නේ කියලා.  මේ ඡන්දෙදී මම මේ පැත්තෙන් කියනවා පාලමක් දානවා කියලා,  ඔයා ඒ පැත්තෙන් කියන්න පාලමක් දානවා කියලා කියන්න කිව්වා. ඒ අනුව  එතුමා මේ පැත්තෙන්  පාලමක් දානවා කිව්වා. මම ඒපැත්තෙන් පාලමක් දානවා කිව්වා. ඡන්දය දිනලා අපි දෙන්නම කැබිනට්  එකට පත්වුණා. කොහොම හරි කෑ ගහලා කෑ ගහලා මේකට මුදල් වෙන් කර ගත්තා.

අපිට  ඕන වුණේ  මං තීරු හතරක පාලමක් ඉදි කරන්නයි. ඒ අය කිව්වා දැනට  මං තීරු දෙකක් ඇති වෙනත්  පාලම් දාන්න සල්ලි අවශ්‍යයි කියලා කිව්වා.  මම ඒකට පොඞ්ඩක් විරුද්ධ වුණා. ඒත්  ජයවර්ධන ඇමතිතුමා කිව්වා දැනට මේක දාගෙන  පස්සේ ඒක වැඩි දියුණු කර ගමු කියලා. ඒත් අවාසනාවකට  මේක විවෘත කරන කලාලයේ එතුමන් ජීවතුන් අතර හිටියේ නැහැ.

රණසිංහ පේ‍්‍රමදාස මහතා අගමැතිව සිටියදී අපි ඔහු සමඟ ශ‍්‍රී  ජයවර්ධනපුර කෝට්ටේ  වටේම දියුණුව  ගැන කතා කළා. මම  ඒකට සහභාගී වුණා. අධ්‍යාපන ඇමති විදියට අපි පාසැල් ගැනත් කතා කළා.

කොටුවේ ඔරලෝසු  කණුවේ ඉඳන් පාර්ලිමේන්තුවට එන මාර්ගය  දියුණු කිරීම ගැන එහිදී කතා කළා. අපි ඇයි ඒ පාර මෙතනින් නවත්වන්නේ කියලා මම එතෙන්දි කිව්වා.  අපි ඒක කඩුවෙල  පාලම හරහා බැලුම්මහර  දක්වා යා හැකි බව පැවසුවා.  එතකොට නුවර පාරෙන්  මේ පැත්තට ආයිත් එන්න  පුළුවන් කිව්වා.  ආ ඒක හොඳ අදහසක් රනිල් කියලා  ඒ සැලසුමත්  ලබා ගෙන තමයි මේක ඇති කළේ.

මේ  මාර්ග පද්ධතිය තව දියුණු කිරීමත් සමඟ මම බියගම  වෙළඳ කලාපය දැම්මා. එතන  සිට කිරිබත්ගොඩ, සපුගස්කන්ද, බෙල්ලකපාපු හන්දිය හරහා වෙළඳ කලාපයට  අපි පාර දැම්මා. එතනින් තමයි මේ නව මාර්ග පද්ධතිය ඇති වුණේ.

දැන් අවුරුදු  33 කට පස්සේ මම දකිනවා මෙතන තියෙන දෙවන මාර්ග  පද්ධතිය. එදා මේක යෝජනා කරපු අපේ එම්. ඞී. එච්  ජයවර්ධන ඇමතිතුමා අපි අතර නැතිවුනත් එතුමා  සිහිකළ යුතුයි. ඒ වගේම මේක විවෘත කරපු කාලයේ අපිට උදව් කරපු පෝල්  පෙරේරා මැතිතුමත් දැන් නැහැ. එතුමත් අපි මතක් කළ යුතුයි. ඇත්ත වශයෙන්ම එම්. ඞී. එච්  ජයවර්ධන ඇමතිතුමා නැත්නම් මේ පාලම අද මෙතන තියෙන්නේ නැහැ.

දෙවන  මංතීරුව ඉදිකළ අපේ  කබීර් හෂීම් මැතිතුමාටත් මම විශේෂයෙන්ම ස්තූති වන්ත වෙනවා. මෙතන  විතරක් නෙමෙයි අපි 2002 ආණ්ඩුවෙන්  කොළඹ  පිටත වට රවුම් පාර යෝජනා කළා.  ඒක ඉදිකරන්න අපිට අවස්ථාව ලැබුණේ නැහැ. කොහොම හරි  ඒ සැලසුම ඊළඟ ආණ්ඩුව බාරගෙන කළා.

තව අලුත්  පාරක් අපි දැන් හදාගෙන යනවා. ඒ තමයි කැළණි පාලම තව පුලූල් කරලා  එතන ඉඳන් කුළුණු මත එක පාරක් වරායට යනවා. අනික් පාර  රාජගිරියට ඇවිත්  රාජගිරියේ සිට අතුරුගිරියට එනවා. 

ඒ එක්කම මේ ප‍්‍රදේශයේ සැහැල්ලු දුම්රිය  මාර්ගයත් එනවා. එහෙනම් විශාල දියුණුවක් ඇති වෙනවා.  අලුත් ප‍්‍රවාහන  ක‍්‍රමයක් මේ ප‍්‍රදේශයට ලබා දෙන්න අපි ක‍්‍රියා කරගෙන යනවා.  මේක අපේ සංවර්ධන  ව්‍යාපෘතියේ කොටසක් වනවා.

මේ යටිතල  පහසුකම් ගිය අවුරුදු පහේදි අපි හරියට දියුණු කළා. ඒකෙන් එක ඇමතිවරයෙක්  තමයි අපේ කබීර් හෂීම් මැතිතුමා. අපි ඒ ගැන එතුමන්ට ස්තූති  වන්ත විය යුතුයි. එතුමන් රන් මාවත් වැඩසටහන්  යටතේ පාරවල් ඉදි කරනවා.

අපි විශාල මහා මාර්ග ගණනාවක්  දැන් ඉදිකරගෙන යනවා. අපේ අලූත්  මාර්ග පද්ධතිය කොළඹ ඉඳන් හම්බන්තොටට එකතු කරන්න පුලුවන්. ඊටපස්සේ දඹුල්ල, ත‍්‍රිකුනාමලයට  යන මාර්ග පද්ධතියත් ඉදි කරනවා. ඉන් පසු  කොළඹ වටේ අපි අලුත් මාර්ග පද්ධතියක්  ඉදිකරනවා. ඒකෙන් ඔබ සියලු දෙනාටම වාසියි. මොකද හැම බිම් අඟලකම මිල අඩු තරමින් ලක්ෂයකින්වත් වැඩි වෙනවා.

කබීර් හෂීම් මැතිතුමා මේ වගකීම් බාරගෙන මේ රටේ මාර්ග පද්ධතිය  දියුණු කිරීම ගැන අපි යළිත් ස්තූති වන්ත විය යුතුයි.  ඒ වගේම හොඳ මන්ත‍්‍රීවරයෙක් වන සුජීව  සේනසිංහ මැතිතුමා මෙහේ ඉන්නවා. එතුමා  හැමවෙලාවෙම කූඹියෙක් වගේ කඩිසරව යමින් කටයුතු කරනවා. දැන්  මේ ප‍්‍රදේශය දියුණු  කරන එකත් එතුමා බාරගෙන  කටයුතු කරගෙන යනවා.

මේ අලුත් මාර්ග පද්ධතිය ඇතිවුණේ  ජේ. ආර් ජයවර්ධන  මැතිතුමා 77 ඇතිකළ ආර්ථිකයත් සමඟයි.  අලුත් මාර්ග පද්ධතියක්  ඉදිකරනවා වගේ ලෝකේ ආර්ථිකයත් වෙනස් වෙලා  තියෙනවා. යුද්ධයෙන් අපි පස්සට ගියා. දැන් අපි ඉන්නේ අලුත්  ආර්ථිකයක් මේ රටේ ඇතිකරන්නයි.

යුද්ධයෙන් පස්සේ මේ ආර්ථිකය දියුණු වෙලා එයි කියලා අපේ විශාල බලාපොරොත්තුවක් තිබුණා. ඒති අපි  ආණ්ඩුව බාරගන්නවිට අපි ණය වෙලා ණය වෙලා කොච්චර  ණය ගත්තද කිව්වොත්  අපිට ණය දෙන්නවත් කවුරුවත් ලෑස්ති වුනේ නැහැ. තව ටිකක් ගියානම් අපි බංකොළොත් රාජ්‍යයක් බවට පත්වෙන්න තිබුණා.

අපි අමාරුවෙන් යළිත් රට ගැන විශ්වාසයක් ඇති කළා. මොකද අපි  ණය ගන්නේ නැත්නම්  තියෙන ණය ගෙවන්න බැහැ.  දැන් අපි ණය අරගෙන තියෙන ණය ගෙවනවා. මේක අමාරු  වැඩක්. මම දන්නවා එතෙන්දි අපි ඔක්කොම දුක් වින්දා.

එතෙන්දි සමහරු ආණ්ඩුවට දොස් කිව්වා. ඒත් අපි  ඇත්ත කිව්වා. මේ ස්ථාවරබාවය අපි  ඇති කලේ නැත්නම් අපිට අනාගතයක් නැහැ. ණය වෙවි ණය වෙවි අපිට යන්න බැහැ. අඩුගානේ අද අපි ගැන විහ්වාසයක් තියෙවා.

මේ බෝම්බෙන් පස්සෙත් අපි ගැන  අපේ ආර්ථිකය ගැන විශ්වාසයක් ඇති වෙලා තියෙන්නේ. ණය ගන්න විශ්වාසයක් ඇති ආර්ථිකයක් ඇති කරලා විතරක් මදි. අපි ණය ගෙවන්න පුලූවන් ආර්ථිකයක් තමයි ඊළඟට  ඇති කරන්නේ.

අපිට හැමදාම ණය වෙවී හිඟන්නො වගේ ඉන්න බැහැ. අපිටත් ආත්ම ගෞරවයක්  තියෙනවා. අප ශ්‍රී ලාංකිකයින්. ශ්‍රී ලාංකිකයින් විදියට අපිට පුලවන් වෙන්න ඒන හිස කෙලින්  තියාගෙන වැඩ කටයුතු කරන්න. 

අපි මෙතනදි බැලූවා මොකක්ද ආර්ථිකයට කරන්න  ඕන කියලා.  අපි එක පැත්තකින් සමාජ ආයෝජනය කරන්න තීරණය කලා. සෞඛ්‍ය සේවයේ විශාල දියුණුවක් ඇති කරගෙන යනවා. බියගම රෝහලක් ඉදි කරන්න මම  ඉඩමක් ගන්නත් උපදෙස් දුන්නා. ඔබ දන්නවා දැන් රෝහලට ගියහම අද තියෙන දියුණුව.

අධ්‍යාපනයේ විශාල දියුණුවක් තියෙනවා. ළඟම පාසැළ හොඳම පාසැලෙන් ගොඩනැගිලි දෙනවා.  අපි දැන් පරිඝණක, ටැබ් යන්ත‍්‍ර ලබා දෙනවා.  අනික් පැත්තෙන් සමෘද්ධිය නොලැබුන අයට අපි සමෘද්ධිය ලබා දෙමින් යනවා.

අපි අමාත්‍යංශ  හතරකින් නිවාස  ඉදිකරගෙන යනවා. අපි ඒ හැම  අංශයක්ම දියුණු කරන්න කටයුතු කරගෙන යනවා. සමාජ ආයෝජන, යටිතල පහසුකම් කරගෙන යනවා.  අනික් පැත්තෙන් ගම් පෙරලිය මගින් ගමට මුදල් යවනවා.

අද බැංකු වලින් අහන්න 2015 ට වඩා  තියෙන තැන්පත් ගිණුම් සමහර තැන්වල දෙගු නයක් වෙලා. මේ ශක්තිය ඇති කරන්න අපි බය නැතුව මුදල් දැම්මා. මුදල් නැත්නම්  අපිට ඉදිරියට යන්න බැහැ.

මේ දේවල්  කරන ගමන් අපිට ගං වතුරකට මුහන දෙන්න සිද්ධ වුනා.  ගං වතුරෙන් පස්සේ නියඟයකට මුහුන දෙන්න සිද්ධ වුනා. නියඟයෙන් පස්සේ ප‍්‍රදේශීය සභා  ඡුන්දයෙන් පරාජයට පත් වුනා. සමහරු  හිතුවා ආණ්ඩුව ඉවරයි කියලා.

කුමන්ත‍්‍රනයෙන් පස්සේ දින 52ක් අපි  එලියේ හිටියා. හුඟක් අය  හිතුවා එතනින්වත්  අපිට යන්න බැහැ රට වැටිලා කියලා. එතනිනුත් ඇඳ ගෙන ආවා. ඊට පස්සේ පාස්කු ඉරිදා බෝම්බෙ ආවා. පාස්කු ඉරිදාට පෙර සෙනසුරාදා  සිකුරාදා බැලූවනම් එදා හොඳ ආර්ථිකයක් රටේ තිබුණා.

ඒ ප‍්‍රහාරයත්  එක්ක හුඟක් බලාපොරොත්තු නැති වුණා.  එදා 12.00 ට කබීර්  හෂීම් ඇමතිතුමන්  එක්ක ආරක්ෂක  අමාත්‍යාංශයට යනවිට අපිත් කතා කර කර  හිටියේ මොකක්ද වෙන්නේ කියළා.  ඒත් එදා හැන්දෑව  වෙනකොට පළවෙනි තොරතුර හොයා ගත්තා. ඒ ගැන අපි පොලීසිය ඇතුලූ ආරක්ෂක අංශ වලට ස්තූති වන්ත විය යුතුයි.

දැන් මාස දෙකක් යන්න  ඉස්සෙල්ලා ප‍්‍රහාරයට සම්බන්ධ හැම කෙනාම හදුනගෙන,  විදේශ ගතවූවන්  ආපසු ගෙන්වගෙන මේකට සම්බන්ධ  වූ හැම කෙනාම අද පොලිස් අත්අඩංගුවේ ඉන්නවා. අපි  රැු`දවුම් නියෝග එක්ක 200ක් දැන් තියාගෙන  ඉන්නවා.

ඒ අය එක්ක තේ කෝප්පයක් බිව්වා  කියලත් දැන් විභාග කරගෙන යනවා. අපි කිව්වා ඒ ගැනත් ප‍්‍රශ්ණ කරන්න කියලා. මේ ඔක්කොම  අපි හොයා ගෙන යනවා

මාස  දෙකකින් මේ අය සොයාගැනිම  ගැන  පුදුම වුනා කියලා මට ඇමරිකාවේ  එෆ්. බී. අයි. ආයතනයෙන් කිව්වා. වෙන රටවල අඩුගානේ අවුරුද්ක්වත් යනවා කිව්වා මේ අය අත්අඩංගුවට ගන්න.

ඒ වගේම  සමාජය තුළ විශාල බියක් තිබුනා. කවුරුත්  එලියට ගියේ නැහැ, පාසැල් වලට ගියේ නැහැ. ඒත් අද සමාජයේ විශ්වාසය  ගොඩ නැගිලා තියෙනවා. වෙසක් දිනයේ අපි ටිකක් සැකෙන් හිටියේ.  ඒත් අද එහෙම නැහැ. අද  ගමන් බිමන් යනවා.

මම  කතරගම පෙරහැරට යද්දි ඉතිහාසයේ විශාලතම සෙනග එදා ආවා. අන්තිම දවසේ ඊටත් වඩා ආවා.  අන්න එහෙම තමයි අද ගමන් බිමන් යන්නේ.

මේ කුමන්ත‍්‍රණය  ඉවරයි කියලා අපිට ඉන්න බැහැ. මෙහෙම සිද්ධියක් යළි ඇති නොවෙන්න අපි පරික්ෂාවෙන් කටයුතු කළ යුතුයි. අපේ ජනතාව  ගැවසෙන තැන්වල පොලිසිය පරීක්ෂාවෙන් සිටිනවා. ආපහු මේ වගේ දෙයක්  ඇති නොවෙන්න ආරක්ෂාව යොදවලා තියෙනවා.

මේ ප‍්‍රහාරයෙන් ඇත්ත වශයෙන්ම අපේ ආර්ථිකය වැටිලා.  අපි හිතුවා අවුරුදු දෙක තුනකට අපේ ආර්ථිකය ගොඩනගන්න  බැරි වෙයි කියළා. දැන් ක‍්‍රමාණුකූලව අපේ ආර්ථිකය දියුණු වෙමින් එනවා.

ඒත් අපිට තවම ප‍්‍රශ්ණ තියෙනවා.  අපේ සංචාරක ව්‍යාපාරය වැටුනා. ඒත් මේ මාසයේ  ලංකාවට එන සංචාරකයන් ගණන  වැඩිවුනා. මේ වසරේදි  සංචාරකයන් ලක්ෂයකට අධික පිරිසක් පැමිණුනා.  එය ගිය වසරට සාපේක්ෂව සියයට හැටක  පමන ප‍්‍රතිශතයක්.

අපි බලන්නේ දෙසැම්බර් මාසය වනවිට යළිත්  සංචාරකයන්ගෙන් හොඳ ආදායමක් ලබා ගන්නයි.  දැනටම ගුවන් ගාස්තු, හෝටල් ගාස්තු ආදිය අඩු කරලා  තියෙනවා. මේ ව්‍යාපාරයේ නියැලෙනන්  බලාපොරොත්තු  වෙන්නෙත් නොවැම්බර්  දෙසැම්බර් මාස වනවිට ආපහු අපිට සංචාරක ව්‍යාපාරය  ඇති කරගන්න පුලූවන් වෙයි කියලා.

මේ  හැම අභියෝගයකටම අපි මුහුන දුන්නා. ප‍්‍රශ්න තිබුණත් අපි පසුබට වුනේ නැහැ.  මේ ප‍්‍රහාරයෙන් අහිමි  වූ ජීවිතවල වටිනාකම අපිට රත්රන් වලින්වත් කියන්න බැහැ.

ඒ වගේම  මේ පාස්කු  ප‍්‍රහාරයත් එක්ක මාස දෙක තුනක් ආණ්ඩුවේ ආදායම් අඩු වුණා. අපිට දැනට රුපියල් බිලියන 200ක ආදායමක් අඩු වෙලා  තියෙනවා.  සැප්තැම්බර් මාසයේ ඉඳන්  ආයිත් සමාන මට්ටමකට ගන්න අපි  බලාපොරොත්තු වෙනවා.

පසුබෑම් තියෙනවා. ආණ්ඩුවක් තියෙන්නේ මේවට මුහුන දෙනන්නයි. ප‍්‍රශ්න තිබුනත්  අපි අතඅරින්නේ නැහැ. මේ අවුරුද්ද  අවසන් වනවිට ස්ථාවර ආර්ථිකයක්  යළි ගොඩනගනවා.

දැන් අපි සාමාන්‍ය තත්වයකට  ආර්ථිකය ගෙනල්ලා මෙතනින් අපේ වැඩකටයුතු අවසන් කරන්න බැහැ.  අපි හිතන්න  ඕන කොහොමද  අපි ණය ගෙවන්න පුලූවන්  ආර්ථිකයක් ගොඩනගන්නේ කියලා. එතන තමයි අපේ සැලසුම  තියෙන්නේ.

ඊළඟ  අවුරුදු කිහිපයේදි අපේ ශකිතිය  දැකලා ආයෝජකයින් එන්න ලෑස්ති වෙනවා. අලූත්  නීති ගේන්න තියෙනවා. කොළඹ දිස්ත‍්‍රික්කයේ  අපි අලූත් මහ නගරයක් ඇති කරනවා.  ඒ දියුණුව  අපි ආරම්භ කරලා තියෙනවා.

මෙයට වඩා සංචාරකයන් ගෙන්වා ගන්නවා. අපි කොළඹ වරාය දියුණු කරනවා. මත්තල ගුවන්තොටුපළ ක‍්‍රියා කරන්න යනවා.  හමුබන්තොට දියුණු කරනවා.  මේකට අලූත් ආර්ථිකයක් අවශ්‍යයි.  ඒකේ එක කොටසක්  වන අලූත් තාක්ෂණය  ගෙනත් දිම තමයි සුජීව සේනසිංහ ඇමතිතුමා  කරන්නේ. මේ ගැන තමයි අනාගතයේදි  හිතන්න  ඕන.

ඊළඟ අවුරුදු දහයේදී තමන්ගේ දරුවගේ අනාගතය මොකක්ද  වෙන්නේ කියලා කී දෙනෙක් හිතනවද? මොකක්ද තමන්ගේ අනාගතය කාටද ඒක දෙන්න පුලූවන්.

ඕන කෙනෙකුට කෑ  ගහන්න, පපුවට ගහන්න, ණය ගන්න පුලූවන්. අමාරුවේ වැටුනම කවුද ගොඩ ගන්නේ. කවුද ඔබට අනාගතයක්  ඇති කරලා දෙන්නේ.

අපි බෙර  ගහන අය නෙමෙයි. අපි කෑ ගහන අයත් නෙමෙයි. අපේ  වැරද්ද අපි කතා කරන්න  ඕන. වැඩ කරනවා. වැඩ කරනවා.  වැඩ නැති වුනොත් අපි ඒක බලනවා. අපි අලූත් යුගයකට යන්න  ඕන. අපි අලූත් දේශපාලනයකට යන්න  ඕන.

ඒකයි මිනිස්සු  කියන්නේ මේ 225 ටම වෙඩි තියන්න  ඕන කියලා. අපිට  ඒකෙන් ඈත් වෙන්න බැහැ. ඇයි අලූත් දෙයක් දෙන්න  ඕන. අපි පරන තැන හිර වෙන්න හො`ද නැහැ. අපි අනාගතයට  යන්න  ඕන, තාක්ෂණය ලබා ගන්න  ඕන. ඉන්දියන්  සාගරයේ කේන්ද්‍රස්තානය වෙන්න  ඕන

අපි ලෝක  වෙළඳ පොළට ගිහින් ආක‍්‍රමණය කරලා දිනන්න  ඕන.  මෙතන කී දෙනෙක් ඉන්වද ඒ ශක්තිය තියෙන.  අපි ඒ අයට මුදල් සහයෝගය ලබා දෙන්න  ඕන.  අන්න ඒ කාළය තමයි එළැඹිලා තියෙන්නේ.

සමාජ  ආයෝජනයෙන් අපි ඉදිරියට  ඇවිත් තියෙනවා.  ආර්ථික ආයෝජනයෙන් විශාල  පිම්මක් පනින්නයි අපි දැන් කරන්න  ඕන. ඒකයි ඊළඟ  අවුරුදු පහේ අපේ කාර්ය භාරය. කාටද  ඒක කරන්න පුලූවන් කියලා හිතන්න ඒන.

අවුරුදු දහයකින් කරන්න බැරිනම් තව පහකින් කොහොමත් කරන්න බැහැනේ. අන්න එච්චරයි මට කියන්න  තියෙන්නේ. කොහොමද මේ කඩුවෙල දියුනු වුනේ.

මහකොළඹ සැලැස්ම අනුව අනාගතයේදී බියගමයි කඩුවෙලයි  විශාල නාගරික සංකීර්නයක්  වෙනවා. ඒ නිසා  ඉඩම් තියෙනවනම් විකුණන්න එපා අල්ල ගෙන ඉන්න. තව අවුරුදු  දහයකින් හොඳ මිලක් ලැබෙනවා.

ඊට පස්සේ අපි නාගරික  දියුණුව අවිස්සාවේල්ල දක්වා ගෙනයනවා.  දැන් හෝමගම දක්වා ඇවිත්  තියෙනවා. එතනින් ඉදිරියට ගෙනියන්න තියෙනවා. දැන් මාලබේට ඇවිත්, තලංගමට ඇවිත් කඩුවෙලට ඇවිත් තියෙනවා.

මේ දියුනුව  ගැන හිතන්න. තමන්ට  ඕන මොන අනාගතයද, කාටද ඒ අනාගතය දෙන්න පුලූවන් කියළා  අන්න  ඒ ගැන හිතන්න.

මම තරම් බැනුම් අහපු මිනිහෙක් නැහැ. බැන්නා  කියළා පස්සට යන්නේ නැහැ. අපි  ඉස්සරහට යන්න  ඕන.  ඔබේ අනාගතය එතන. මේ  ආණ්ඩුව තරම් බැනුම් අහපු ආන්ඩුවක් නැහැ. ඒත් අපි ඒ ශකිතිය ඇතිව ඉදිරියට යනවා’’ යැයිද අග‍්‍රාමාත්‍යවරයා එහිදී පැවැසීය.