(සුජිත් හේවාජුලිගේ)

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයින් මෙරට සෑම දිස්ත්‍රික්කයකම සාමාන්‍ය ප්‍රමාණයක් සිටිය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවැසීය.

මේ අතර පෙරේදා (25) දිනයේ වාර්තා වූ දෛනික කොවිඩ් ආසාදිතයින්ගෙන් යම් ප්‍රතිශතයක්ද ඩෙල්ටා ආසාදිතයින් විය හැකි බව හෙතෙම සඳහන් කළේය.

මෙරට සෑම දිස්ත්‍රික්කයකම ඩෙල්ටා රෝගීන් අඩු වැඩි වශයෙන් සිටින බවට නිගමනයකට ඇවිත් සිටින බවත් මේ ප්‍රභේදයේ රෝගීන් ඉන්න ප්‍රදේශයක රෝගය බෝවීමට ඉඩ තැබුවහොත් එය වේගයෙන් පැතිරිය හැකි බවත් ඔහු ප්‍රකාශ කළේය.

ඩෙල්ටා ආසාදිතයන් 68 දෙනා හමුවූයේ සාම්පල ගණනාවක් පරීක්ෂා කිරීමේදී බව පැවසූ හෙතෙම එම රෝගීන් ඊට වඩා විශාල සංඛ්‍යාවක් පරිසරයේ සිටිය හැකි බවත් ප්‍රකාශ කළේය.

එහෙත් සෑම කෙනෙකුම ඩෙල්ටා ප්‍රභේදය සඳහා වෙන වෙනම පරික්ෂා කිරීම ප්‍රායෝගික වශයෙන් කළ නොහැක්කක් හෙයින් එවැන්නක් නොකරන බවද ඔහු පැවසුවේය .

ඩෙල්ටා පොකුරු ඇති වීමට ඉඩ නොතබන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.