(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
හෙරොයින් ග්‍රෑම් 2.78ක් සිය සන්තකයේ තබා ගැනිමේ චෝදනා මත කොළඹ මහාධිකරණය මගින් වරදකරු කොට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ලැබ වසර දෙකක කාලයක් සිර දඩුවම් විදිමින් සිටි කාන්තාවක් නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය තීරණය කර ඇත.
මෙසේ අභියාචනාධිකරණය තීන්දු කළේ ඇය විසින් ගොනු කර තිබූ අභියාචන පෙත්සමක් විභාගයට ගෙන එහි තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.
අභියාචනාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතාගේ එකගත්වයෙන් අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා විසින් ප්‍රකාශයට පත් කළ තීන්දුවේ මෙසේද සදහන් වේ.
හෙරොයින් ග්‍රෑම් 2.78ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරු කරමින් කොළඹ මහාධිකරණය මගින් 2019 ජනවාරි 18 වැනි දින පතිරගේ ජයන්ති නැමැත්තියට ජීවිතාන්තය දක්වා සිර දඩුවමක් නියම කෙරිණි.
මෙම තීන්දුවෙන් අගතියට පත් පෙත්සම්කාර චූදිත කාන්තාව විසින් එම දඩුවමට එරෙහිව මෙම අභියාචන පෙත්සම අභියාචනාධිකරණයට ඉදිරිපත් කර ඇත.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගැනීමේදී මහාධිකරණ විනිසුරුවරයා විසින් විත්ති පාර්ශවයේ සාක්ෂි පිළිබද නිසි සැලකිල්ලට ගෙන නොමැති බවත් පැහැදිලි වන බවද තීන්දුවේ සදහන් වේ.
මහාධිකරණ විනිසුරුවරයා පැමිණිල්ලේ සාක්කිකරුවෙකු වන ෆොන්සේකා නැමැත්තාගේ සාක්කිය සම්බන්ධයෙන් නොමග ගොස් ඇති බවද තීන්දුවේ සදහන් ව ඇත.
පෙත්සම්කාර චූදිත කාන්තාව තමාට මුහුණුපෑමට සිදුවූ සිද්ධිය නිවැරදිව විස්තර කර ඇති බවත් , කුසුමා නැමැති සාක්කරුගේ සහ චූදිත කාන්තාවගේ දියණියගේ සාක්ෂි වලින් චූදිත කාන්තාව නිවසේදී අත්අඩංගුවට ගෙන ඇය සන්තකයට හෙරොයින් දමා ඇතැයි ද අභියාචනාධිකරණ තීන්දුවේ පැහැදිලිව සදහන් වේ.
ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවක් ඩී.එන්.පාණ්ඩේට එදිරිව උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත රජය යන නඩුවේ තීන්දුව අනුව විත්ති පාර්ශවයේ සාක්කිකරුවන්ට ද පැමිණිල්ලේ සාක්කිකරුවන්ට හා සමානවම සැලකිය යුතු බව පෙන්වා දී ඇතැයි ද අභියාචනාධිකරණය තීන්දුවේ සදහන් වේ.
සියලු කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය හෙරොයින් ග්‍රෑම් 2.78ක් සිය සන්තකයේ තබා ගැනිමේ චෝදනා මත කොළඹ මහාධිකරණය මගින් වරදකරු කොට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ලැබ වසර දෙකක කාලයක් සිර දඩුවම් විදිමින් සිටි කාන්තාවක් නිදොස් කොට නිදහස් කිරීමට නියම කළේය.
පෙත්සම්කාර චූදිත කාන්තාව වෙනුවෙන් නීතීඥ නිරංජන් ජයසිංහ මහතා පෙනී සිටියේය.
නීතිපති වෙනුවෙන් රජයේ නීතීඥ රියාස් බාරි මහතා පෙනී සිටියේය.
COMMENTS
මිනීමරුවෝත් නිදහස් කරන එකේ මේ තීන්දුව සාධාරණයි. හැබැයි නෝනේ.. ආයෙත් පරණ බිස්නස් එක පටන් ගන්න එපා.
"චූදිත කාන්තාව නිවසේදී අත්අඩංගුවට ගෙන ඇය සන්තකයට හෙරොයින් දමා ඇතැයිද අභියාචනාධිකරණ තීන්දුවේ පැහැදිලිව සඳහන් වේ.." යන්නෙන් හැඟෙන්නේ කවරෙක් හෝ ඇය සන්තකයට හෙරොයින් දමා ඇති බවකි. එසේ නම්, මේ කාන්තාවට බලවත් අසාධාරණයක් සිදුවී ඇති බවයි මගේ අදහස...
කුඩු පොලීසියෙන් දැන්මා කියලා පැහැදිලි වෙනවා කියලා අභියාචනාධිකරණය කියනවා. කෝ එතකොට ඒ කුඩු දාපූ පෝලීසියේ අයට ගන්න ක්‍රියාමාර්ග? තව අහිංසයන් ජීවීතාන්තය දක්වා හිරගේ යවන්නට ඔවුන්ට ඉඩ හරිනවද? කුඩු ග්‍රෑම් 2.7ක් කියන්නේ මරණ දඬුවම හිමිවෙන වරදක්. පුද්ගලයෙකුට මරණ දඩුවම ලබාදීවීමට අධිකරණයේ බොරු සාක්ෂි දීමත්, මරණ දණ්ඩනය නියම වන වරදක්.
මේක පොලිසියෙන් කරනවා යැයි මා අසා ඇති බරපතල බිය වැද්දවීමක්... මේ ළඟදීත් විඩියෝ එකක මම දැක්කා "පැකට් එකක් දාලා ඇතුළට දානවා" යැයි පොලිසිය තර්ජනය කළ බවක්. මට අනුව නම් මියයෑම ජීවිත කාලයටම සිර දඬුවම් විඳීමට වඩා සැපයි. අහිංසක මිනිස්සුන්ට වෙන භයානක කරදර... ලොකු මිනිස්සු මිනීමරලා හිරේ ගියත් නිදහස්...
එයාට නැවතත් රැකියාව කරගෙන යාමට අවසර දීම ගැන ඔබතුමන්ලාට දහස්වාරයක් පින් ලැබෙනු ඇත..
කථාව ඇත්ත නම් කූඩු දමලා, බොරු නඩුව දමපු පොලිස් නිලධාරින් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට ඇයි බැරි? ඒක සිදුවිය යුතුයි නේද?
ලංකාවේ නීතිය දැන් කියලා වැඩක් නැහැ