(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)     

ජනාධිපති සමාව ලැබ නිදහස්ව සිටින රෝයල් පාර්ක් මිනීමැරුම් නඩුවේ විත්තිකරු වූ ජූඩ් ශ්‍රාමන්ත ඇන්තනී ජයමහ නැමැත්තා විදේශ ගතවීම වළක්වාලමින් නිකුත් කර තිබූ අතුරු නියෝගය ලබන ජුනි 11 වැනිදා තෙක් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (19) තීන්දු කළේය.
 
ජනාධිපති සමාව ලැබ නිදහස්ව සිටින රෝයල් පාර්ක් මිනීමැරුම් නඩුවේ විත්තිකරු වූ ජූඩ් ශ්‍රාමන්ත ඇන්තනී ජයමහ නැමැත්තා විදේශ ගතව සිට නැවතත්  ලංකාවට පැමිණ ඇති බවට තොරතුරු හෙළිවී ඇති බවට පෙත්සම්කාර පාර්ශවයේ නීතීඥවරුන් කළ කරුණු දැක්වීම් සැළකිල්ලට ගනිමින් මෙම අතුරු නියෝගය තවදුරටත් නිකුත් කිරීමට අධිකරණය නියම කළේය.
 
නඩුවේ විත්තිකරුට අධිකරණයෙන් නියම කර තිබූ මරණ දඬුවම අහෝසි කර ඔහු නිදහස් කිරීමට හිටපු ජනාධිපතිවරයා ගත් තීරණය මඟින් මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව සඳහන් කරමින් එම විත්තිකරු යළි අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීමට නියෝග කරන ලෙස ඉල්ලා කාන්තා මාධ්‍ය එකමුතුව සංවිධානය ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම  සළකා බලමින් ශ්‍රේෂ්ඨාධිකරණය මේ තීන්දු  ලබා දෙන ලදී.
 
මෙම පෙත්සම බුවනෙක අළුවිහාරේ , එල්.ටී.බී.දෙහිදෙණිය සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන් හමුවේ පෙත්සම කැඳවිණි.
 
පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, ජනාධිපති සමාව ලැබූ විගස ජූඩ් ශ්‍රාමන්ත ජයමහ නැමැත්තා විදේශගත වූ බවත් ඔහු මේ වන විට යළි ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන බවට තොරතුරු අනාවරණය වී තිබෙන හෙයින් ඔහුට රටින් පිට වීම වළක්වාලමින් නඩු විභාගය ආරම්භයේ දී නිකුත් කළ තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ ලෙස ඉල්ලීමක් කළේය.

එම ඉල්ලීම පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ කිරීමට නියෝග කළේය.
මෙම පෙත්සම අද (19) සළකා බැලීම සඳහා නියමිතව තිබුණත් එහි වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා අද දින පෙනී නොසිටි බැවින් කරුණු සළකා බැලීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඔහුගේ කණිෂ්ඨ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව පෙත්සම සලකා බැලීම ජුනි මස 10 වන දා දක්වා කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.