( තිළිණි ද සිල්වා)

චීන තානාපති කාර්යාලය මහජන බැංකුව අසාදු ගත කර ඇතැයි එම තානාපති කාර්යාල ආරංචි මාර්ග කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ, ආර්ථික සහ වාණිජ කාර්යාලය  මෙම පියවර ගෙන ඇති අතර එම කාර්යාලය  අද (29) මේ බව චීන වෙළඳ අමාත්‍යාංශය වෙතද නිල වශයෙක් දන්වා ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියි.

මෑතකදී එම බැංකුව චීන සමාගමකට නිකුත් කළ ණයවර ලිපියට අදාළ ගෙවීම් පැහැර හැරීම  හේතුවෙන්තා තානාපති කාර්යාලය මෙම පියවර ගනු ලැබ ඇතැයි සදහන් වේ.

ශ්‍රී ලංකාව සමඟ ජාත්‍යන්තර වෙළෙඳාමේදී ශ්‍රී ලංකා මහජන බැංකුව  නිකුත් කරන ලද ණයවර ලිපි පිළිගැනීමෙන් වළකින ලෙසත් චීන තානාපති කාර්යාලය සියලුම චීන ව්‍යවසායකයන්ට දන්වා ඇතැයිද සදහන්වේ.

දැනට මතභේදයකට ලක්වී ඇති චීනයේ චින්දාඕ සීවින් බයෝටෙක් සමාගමෙන් ගෙන්වීමට සැලසුම් කළ කාබනික පොහොර සඳහා ණයවර ලිපි නිකුත් කරනු ලැබුවේ මහජන බැංකුව හරහා වන අතර ශ්‍රී ලංකාවේ ශාක නිරෝධායන සේවය එම පොහොර සාම්පල පරීක්ෂාවෙන් පසුව පවසා තිබුණේ, එම පොහොර සාම්පලවල අර්වීනියා නම් බැක්ටීරියාව අඩංගු බැවින් එම පොහොර භාරනොගත යුතු බවටය.

මේ සම්බන්ධයෙන් මහජන බැංකුවෙන් කළ විමසිමකදි එහි උසස් නිළධාරියෙක් කියා සිටියේ ණයවර ගෙවීම තහනම් කරමින් කොළඹ වානිජ අධිකරණයෙන් තහනම් නියෝගයක් ලබා දි ඇති බවයි. එම තහනම් නියෝගය හේතුවෙන් මුදල් ණයවර නිකුත් කිරීම තාවකාලිකව නතර කළ බව ද එම නිලධාරියා කියා සිටියේය.