(විනීතා එම් ගමගේ)

කොළඹ ගංවතුර පාලනය සඳහා කොළඹ මහනගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ක‍්‍රියාත්මක කොළඹ ශාන්ත සෙබස්තියන් ඇළ මාර්ග දොරටුව හා පොම්පාගාර ව්‍යාපෘතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  ආරම්භ කළ සාර්ථක සංවර්ධන ව්‍යාපෘතියක් යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

කොළඹ නගරය ආශ‍්‍රිතව ගංවතුර පාලනය සඳහා කොළඹ මහනගර සංවර්ධන ව්‍යාපෘතිය (Metro Colombo Urban Development Project)  යටතේ වත්මන් ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම්වරයාව සිටි අවදියේ ආරම්භ කරන ලද කොළඹ ශාන්ත සෙබස්තියන් ඇළ මාර්ග දොරටුව හා පොම්පාගාර මධ්‍යස්ථානය නිරීක්ෂණයට ලක්කළ අවස්ථාවේ අමරවීර මහතා මේ අදහස් පළ කළේය.

කොළඹ නාගලගම්වීදිය, තොටළග හා කොළොන්නාව ආශ‍්‍රිතව වර්ෂාව අධික අවස්ථාවල පවතින ගංවතුර පාලනය සඳහාත් දැනට අතිශයින් දූෂිතව ඇති ජලමාර්ග පවිත‍්‍රකිරීම සඳහාත් මෙම ඇල මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කෙරිණි.

මෙම ව්‍යාපෘතිය සඳහා රජය විසින් වැය කෙරෙන සමස්ත මුදල රුපියල් බිලියන 200කි. එමගින් කොළඹ මහනගර සීමාව තුළ පවතින සියලූම ඇළමාර්ග විධිමත් පරිදි අප ජලය බැස යන පරිදි නවීකරණය කෙරෙන අතර ඇළමාර්ගවලට බැහැර කරන පොලිතීන් හා ප්ලාස්ටික් ආදි අපද්‍රව්‍ය සියල්ල මෙම උතුරු දොරටුව අසළින් පිරිසිදු කර කැළණි ගඟට මුදා හැරීමට සැලසුම් කර ඇතැයි එම ව්‍යාපෘතිය භාර ඉංජිනේරුවන් අමාත්‍යවරයාට පෙන්වා දුන්නේය.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා කියා සිටියේ සුළු වර්ෂාවක දී වුවද කොළඹ නගරයේ ඇතැම් ප‍්‍රදේශ ගංවතුර ට ලක්ව යටවන නිසා ඒ හැම අවස්ථාවකදීම රුපියල් මිලියන 2000කට වඩා පාඩුවක් මහජනතාවට සිදු වන බවය.