
(අතුල බණ්ඩාර, පියදාස සමරවීර සහ උපාලි ආනන්ද)
පදවිය, සී - යාය ,අටේ ඇළ මාර්ගයේ යතුරුපැදියක් පදවාගෙන ගිය එක්දරු මවකගේ හිස මතට කළුගල් කොරියක ගල් වෙඩිල්ලක් පුපුරුවා හැරීමේදී විසිවූ කළුගලක් හිසේ වැදීමෙන් එම කාන්තාව මරණයට පත්වී ඇතැයි පදවිය පොලිසිය පවසයි.
මේ සිද්දියෙන් මරණයට පත්ව ඇත්තේ ,පදවිය, පරාක්‍රමපුර ,මෛත්‍රී මාවතේ, තෝනිගල උදාගම්මානයේ, පදිංචිව සිටි , සුභාෂිණි නිවන්තිකා රාජපක්ෂ නමැති 32 හැවිරිදි එක්දරු මවකි.
ඇය,සිය පියා සහ අවුරුදු එකහමාරක් වයසැති තම දරුවාද සමග යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී මේ අනතුරට මුහුණපා ඇතැයි මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරණ පදවිය පොලිසියේ නිලධාරියෙක් පැවසිය.
අටේ ඇළ මාර්ගයේ ඔවුන් ගමන් කරමින් සිටියදී එම මාර්ගය ආසන්නයේ පවත්වාගෙන යන කළු ගල් වැඩපොළේ ගල් වෙඩිල්ලක් පුපුරුවා හැර ඇත.
එම ශබ්දය ඇසී යතුරුපැදිය නවතා තිබෙන ඇය , තවත් ගල් වෙඩි පත්තුවීමට ඉඩ ඇති නිසා ආපසු හැරී යමුයි , පියාට පවසා යතුරුපැදිය හරවන්නට හදනවාත් සමග පත්තුවූ තවත් ගල් වෙඩිල්ලකින් විසිවූ විශාල කළු ගලක් ඇය හිසේ පැළඳ සිටි හෙල්මටයට පහළින් නළලේ වැදී සිහිසුන්ව එතැනම ඇද වැටි ඇත.
තුවාල ලැබූ සිය දියණිය බදාගෙන පියා කෑ ගසද්දී ඒ හඬ ඇසී ගල් වැඩපොළේ වැඩකරන කිහිපදෙනකු එතැනට පැමිණ තිබේ.
පසුව ඔවුන්ගේ සහයෝගයද ඇතිව පියා වැන් රථයකින් ඇයව පදවිය රෝහලට රැගෙනගොස් ඇති අතර රෝහලේදී ඇය පරීක්ෂා කළ වෛද්‍යවරුන් නිගමනය කර ඇත්තේ ඒ වන විට ඇය මියගොස් සිටින බවයි.

COMMENTS
අපේ මුතුන් මිත්තන් කළු ගලක් දුටුවිට අද පවා ලොව මවිත වෙන පිළිම වැනි නිර්මාණ කරා.සීගිරිය ලෝක උරුමයක් බවට පත් වුණේ සීගිරි කාශ්‍යප රජු ගේ තිබූ කලා කෞශල්‍ය නිසා බව පෙනේ.ඒත්,අද මිනිසා තමා අවට කළුගලක් තිබේ නම්,එය කඩා මුදල් කරනකම් ඔහුට නින්ද යන්නේ නැහැ.ඒ කරන්නෙත්,අවට ජීවිත වීනාශවෙන ආකාරයටයි.ගල්බෝරයක් පත්තුකරණා විට,අනතුරු හඟවන නලාවක්,පාරේ රතු කොඩි ආදී ආරක්ෂිත පියවර යොදනවා.හිතෙනා හැටියට ඒ ක්‍රම නොතිබුණ බවයි හැඟී යන්නේ.කොහොම උනත් නැතිවු ජීවිතය ගැන අපට හරි කණගාටුයි .දරුවාට මව අහිමි වුණා.
ඉතාම කණගාටුයි...!
ඇමරිකාවෙනම් මේ මවගෙ දරුවට සහ පවුලෙ අයට මිලියන ගානක වන්දි මුදලක් ගල් කෝරියෙ අයිතිකාරයට ගෙවන්න වෙනවා අනිවාර්යෙන්ම. ලංකාවෙනම් අනේ මන්දා.