(ඩයනා උදයංගනී)

මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවේ කැපී පෙනෙන අඩුවක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.

රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන 224 ක ඇඳන් 38,420 ක් කොවිඩ් රෝගීන් වෙනුවෙන් වෙන්කර ඇති බවත්, මේ වන විට භාවිතයේ පවතින්නේ ඇඳන් 9,481ක් පමණක් බවත් නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

දැඩි සත්කාර හා අධි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව ද මේ වන විට 94ක් දක්වා අඩුවී ඇතැයි විශේෂඥ වෛද්‍යවරයා කීවේය.

හේමන්ත හේරත් මහතා මේ බව පැවසුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දී අද (8) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

කොවිඩ් රෝගීන් 772 දෙනකු ඊයේ (7) වාර්තා වූයේ පී.සී.ආර් පරීක්‍ෂණ 6,282ක් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්‍ෂණ 3,696කින් බව කී හේරත් මහතා මෙය ඉතා යහපත් තත්වයක් බව ද පැවසීය.