(ඩයනා උදයංගනී)

ඉන්දියාවෙන් වාර්තා වූ ‘ඩෙල්ටා’ කොවිඩ් ප්‍රභේදය ආසාදිත පස්දෙනකු වාර්තා වූයේ අහඹු ලෙස සිදුකළ පී.සී.ආර් පරීක්‍ෂණයකින් නිසා සමාජය තුළ එම ප්‍රභේදය ආසාදිත තවත් රෝගීන් සිටිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය) විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය පැවසුවාය.

එම ප්‍රභේදය සමාජය තුළින් හමුවූ නිසා මාසයක් වැනි කාලයක් තුළ වේගයෙන් පැතිර යාමේ අවදානමක් තිබෙන බව ද ඇය සඳහන් කළාය.

සුසී පෙරේරා මහත්මිය මේ බව පැවසුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දී අද (25) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

සංචරණ සීමා පැවති කාලය තුළ රෝගීන් වාර්තාවීම අඩු වී ඇතත් දිගටම එය පවත්වාගෙන යාම අසීරු නිසා එම සීමා ලිහිල් කිරීමක් කිරීමට සිදුව ඇතැයි කී වෛද්‍යවරිය නැවතත් රට වසාදැමීමකට යාම වළක්වා ගැනීමට නම් ජනතාව ලිහිල් කර තිබෙන සංචරණ සීමා තුළ වගකීමෙන් කටයුතු කළයුතු බව ද කීවාය.

ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරීම සියයට 60කින් 70වකින් ඉහළ බව කී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරිය ජනතාව නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම ඉතා වැදගත් බව ද සඳහන් කළාය.

රටවල් ගණනාවක ඩෙල්ටා සීඝ්‍රයෙන් පැතිර යමින් තිබෙන බව කී වෛද්‍යවරිය මෙරට රෝහල්වල ඇති ඇඳන් 86,000 අභිබවා කොවිඩ් රෝගීන් වාර්තා වුවහොත් ගැටලුවක් ඇතිවන බව ද කීවාය.